පාසල් මලල ක්‍රීඩා සංගමය හිතවතුන්ට සලකලා

141

මේ දිනවල චීනයේ වුහාන්හි පැවැත්වෙන 21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකා රුමේෂා කුමාරි රත්නායක එක් වූයේ අවසන් මොහොත දක්වාම සිදු කරන ලද අරගලයක ප්‍රතිඵලයක් මත බව අද ප්‍රසිද්ධ රහසකි.

පිට පළාත් පාසල්වල දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිලිබා ගෙන කොළඹට වී සුපිරි පුහුණුකරුවන් ලෙස පෙනී සිටින්නන් වැඩි පිරිසක් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදෙස් සංචාරවලට එක් කිරීමට හා ඔවුන්ද පුහුණුකරුවන් ලෙස එක්වීමට පරිපාලනයේ සිටින හිතවතුන්ගේ උපකාර ලබා ගැනීම කාලාන්තරයක් තිස්සේ සිදු කරනු ලබන අකටයුත්තක් බව දැනගන්නට ඇත.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට යවන සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කල් තියාම තෝරාගෙන පසුව තේරීමේ පරීක්‍ෂණ පැවැත්වූ බවට පවතින රාවයද එක්වරම බැහැර කිරීම අපහසුය.

මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළ මෙවැනි පසුබිමක් නිර්මාණය වී තිබියදී ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයද මීළඟට පැවැත්වීමට නියමිත ආසියානු පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් පවත්වන ලද තේරීම් පරීක්‍ෂණමෙන්ම එම සංචාරයට එක් කරන ලද නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේදීද බලවත් අසාධාරණයක් සිදුකරමින් හිතවතුන්ට සංග්‍රහ කිරීමක් සිදුකර ඇතැයි පැවැසේ.

මෙම සංචාරයට තෝරාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විශේෂයෙන්ම ක්‍රීඩිකාවන් අතරින් එක ක්‍රීඩිකාවක හැර සෙසු සියලුම ක්‍රීඩිකාවන් පුහුණුව ලබන්නේ පිරිමි පුහුණුකරුවන් යටතේ බව සඳහන්ය. ඒ අනුව කාන්තාවක යටතේ පුහුණුව ලබන සංචාරයට තෝරාගෙන ඇති එකම ක්‍රීඩිකාව සුභානි කෞෂල්‍යා අබේරත්නය.

තත්ත්වය එසේ තිබියදී අදාළ සංචාරයට ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සුභානිගේ පුහුණුකාරිය නම් කර නැති

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මෙම සංචාරයට තමන්ගේ එකම තරගකරුවකු හෝ සුදුසුකම් ලබා නැති කාන්තාවක නම් කර තිබීමෙන් පැහැදිලිව සිදුකර ඇත්තේ හිතවතියකට කරන ලද සංග්‍රහයකි.

තවද මේ සඳහා කැඳවන ලද තෝරා ගැනීමේ තරග අප්‍රේල් 29 වැනිදා පවත්වන බව දැනුම් දී ඇත්තේද අප්‍රේල් 26 වැනිදාය. එබැවින් එම පරීක්‍ෂණ සඳහා සූදානම් වීමට පාසල් රැසකටම නොහැකි වී ඇත.

එසේම මෙම තරගාවලියට සහභාගි වන සෑම තරගකරුවකුම ජවන හා පිටිය වශයෙන් ඉසව් දෙකකට සහභාගි විය යුතු බැවින් එක් දිනක් තුළ පැවැති තේරීමේ පරීක්‍ෂණයේදී මෙවැනි ඉසව් දෙකකට සහභාගි වීමට අවස්ථාව සලසා දීමද අසාධාරණ බව බොහෝ පුහුණුකරුවෝ ප්‍රකාශ කර සිටිති. තවද තේරීම් පරීක්‍ෂණ කල් වේලා ඇතිව දැනුම් දීම සිදු නොකිරීම නිසා ඊට සහභාගි වී ඇත්තේ ඉතාම සුළු පාසල් ප්‍රමාණයක් බවද දැනගන්නට ඇත.

මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව සම්මානනීය තත්ත්වයට පත් කිරීම වෙනුවට අවමානයට ලක් කිරීම බවය.