නෙදර්ලන්ත ශූරයෙකු පරාජය කරමින් යුපුන් තවත් පදක්කමකට

8324
Yupun Abeykoon

දකුණු ආසියාවේ වේගවත්ම කාලයට හිමිකම් කියන ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (15) ස්විස්ටර්ලන්තයේ දී පැවති Galà dei Castelli මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වෙමින් මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් විය.

මෙම වසරේ ලොව තෙවැනි වේගවත්ම කාලය වාර්තා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Akani Simbine ඇතුළු ප්‍රමුඛ මට්ටමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සහභාගි වූ එම තරගය තත්පර 10.24ක කාලයකින් අවසන් කළ යුපුන් Akani Simbine (10.02) සහ ඉතාලි ජාතික යොවුන් ශූර Filippo Tortu (10.07) යන ක්‍රීඩකයන්ට පමණක් දෙවැනි වෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

එම තරගය තුළ දී යුපුන් විසින්, හිටපු නෙදර්ලන්ත මීටර් 100 ශූරයෙකු මෙන්ම 2012 ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ පස්වැනි ස්ථානය දිනා ගත් නෙදර්ලන්ත ක්‍රීඩක Churandy Martina මෙම තරගය තුල දී පරාජය කිරීම ද කැපී පෙනුණි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

ඔහු මෙම තරගය නිමා කිරීමට ගත් කාලය ඔහුගේ පෞද්ගලික හොඳම කාලයට වඩා වැඩි වූවත් Akani Simbine, Churandy Martina වැනි ජාත්‍යන්තර තලයේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් සමඟ තරගවැදි මුල්ම අවස්ථාවේ දී පදක්කමක් හිමි කරගැනීමට හැකි වීම ඔහුගේ ක්‍රීඩා දිවියේ ලද විශාල ජයක් ලෙස ද සැලකිය හැක.

ඉතාලියේ වාසය කරමින් සිය පුහුණුවීම් කටයුතු සිදු කරන යුපුන් මේ දිනවල කෙටි දුර ධාවන පිටියේ ඉහළ දස්කම් දක්වමින් සිටින අතර පසුගිය දා ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගි වෙමින් එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියානු වාර්තාවක් සියතට ගැනීමට ඔහු සමත් විය. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<