බබා වගේ ලේසියෙන් ලකුණු ගහන ලහිරු උදාර

1361
Lahiru Udara

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද “ලහිරු” නම තිබෙන ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ජාත්‍යන්තරය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දක්වා තිබෙනවා. ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර ඒ අතර සිටින ප්‍රමුඛ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්.

ජාතික කණ්ඩායමේ මුල්පෙළ පිතිකරණ භූමිකාවට තේරීපත්වෙන්නට ඉහළ සම්භාවිතාවක් සහිත, මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරී සිටින ලහිරු උදාර, පසුගිය දා අවසන් වුන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩියෙන් කතාබහට ලක්වුන “ලහිරු” කෙනෙක්.

එම තරගාවලියේ ලකුණු 1,000 සීමාව ඉක්මවා යෑමට සමත් වුන පිතිකරුවන් දෙදෙනෙකු අතරින් එක් පිතිකරුවෙකු වන 26 හැවිරිදි ලහිරු ලකුණු 1039ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නට සමත් වුනා. ලකුණු 1000 පසු කළ අනෙක් ක්‍රීඩකයා වුනේ යුධ හමුදාව නියෝජනය කළ දිනේෂ් චන්දිමාල්. 

මෙවර තරග වාරයේ දී පිතිකරුවෙකු ලෙස දස්කම් දැක්වීමට හැකි වීම පිළිබඳව ThePapare.com ලහිරු අදහස් දක්වමින් පැවසුවේ, නුදුරේ දී ම ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීම සිය ඉලක්කය බවත්, ඒ සඳහා තමාගේ උපරිමය ලබා දීමට සූදානමින් සිටින බවත් ය.

>> වීඩියෝ – ලහිරු උදාරගේ සුපිරි පිතිකරණය<<

“මට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙන්න පුළුවන් වුන ඒක ගැන ගොඩක් සතුටුයි. විශේෂයෙන් සුපිරි 8 වටයේ තරග සාමාන්‍යයෙන් තියන්නේ දවස් 4ක්, හැබැයි කොරෝනා වසංගතයත් එක්ක තරග කාලසටහන ටිකක් වෙනස් වුනු නිසා සිව්දින තරග තුන්දින තරග වුනා, එහෙම වෙලත් මට ලකුණු 1,000 සීමාව පසු කරන්න පුළුවන් වුනා. කලින් තිබුණ තුන්දින තරග සිව්දින තරග වුනා නම් මීට වඩා තව මට ලකුණු ගහන්න තිබ්බා” යැයි කඩුලු රකින පිතිකරු ලහිරු පැවසුවා.

Lahiru Udara2018/19 තරග වාරයේදීත් එක් ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟ ලකුණු 861ක් ලබා ගත් ලහිරු එවර සමස්ත තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයට පැමිණියා.

නමුත් මෙවර තරග වාරයේ දී ද්විත්ව ශතකයක් සමඟ ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් Tier A තරගාවලියේ වැඩිම ලකුණු ලාභි පිතිකරුවා බවට පත්වන්නට ලහිරු සමත් වුනා. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී වාර්තා කළ ලකුණු 290* මෙවර තරග වාරයේ ලහිරු ඉනිමක ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වෙනවා.

“ඇත්තටම මේ තරග වාරයේ දී මම කොහොම හරි ලකුණු 1000ක් ගහනවා කියලා මුල ඉඳලා හිතාගෙන හිටියා. මොකද අරමුණක් නැතිව අපිට මොකුත් කරන්න බැහැ. අරමුණක් තියාගත්තොත් ඒකට හීනයක් ආසාවක් ඇතිවෙනවා, එතකොට අපි ඒක දිනාගන්න කොහොමහරි උත්සහ කරනවා. ඇත්තටම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 87ක් ලෙස (86.72) රඳවා ගනිමින් ඒ දේ කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ කරපු කැපකිරීම් ගැන මම සතුටු වෙන ගමන් ශ්‍රී ලංකාව නියෝජනය කරලා ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ දස්කම් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා”  ලහිරු සිය දක්ෂතාව සහ ජයග්‍රහණය ගැන අදහස් දැක්වුවේ එහෙමයි.

2018 වසරේ පන්දුවාර 20-20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලහිරු උදාර ඇතුළු කණ්ඩායමට

මෙවර තරග වාරයේ පළමු තරගයේ දී ම ත්‍රිත්ව ශතකය ආසන්නයට පැමිණි ලහිරුට ත්‍රිත්ව ශතකය අහිමි වුනේ අනෙක් අන්තයේ පිතිකරුවන් සියල්ල දැවී යෑම නිසයි. එම තරගයේ දී අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි දකුණතින් පිතිකරණයේ නිරත වන ලහිරු දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉතිරි තරග සියල්ලටම ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහුට උසස් වීම් ලැබුණා.

තවත් විශේෂාංග ලිපි:

1993 ඇල්පිටිය, බටුවන්හේනේ දී උපත ලද ලහිරු උදාර, සහජ හැකියාවන් සහිත ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කර ඇති වැඩපිළිවෙළේ සාර්ථකත්වයට තවත් එක් හොඳ උදාහරණයක්. 

කළුතර ඇල්පිටිය ආනන්ද ශාස්ත්‍රාලයේ සිට නුගේගොඩ සාන්ත ජෝන් විදුහලට පැමිණෙන ලහිරු වයස අවුරුදු 19න් පහළ නියෝජනය කරන අවධියේ දී දක්ෂතම පිට පළාත් ක්‍රීඩකයාට හිමි ශූරතා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

2016 වසරේ වයස අවුරුදු 23න් පහළ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතම පිතිකරුවා

“ඇත්තටම, මම මෙතනට ආවේ ගොඩක් කැප කිරීම් කරලා, කළුතර ඇල්පිටියේ ආනන්ද විද්‍යාලයට තමයි මම මුලින්ම ගියේ, පස්සේ මම 7 වසරේ දී නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට ආවා. වයස අවුරුදු 13න් පහළ ඉඳන් 19න් පහළ වෙනකන් මම පාසලේ ක්‍රිකට් ගැහුවා. 2010 වසරේ 17න් පහළ ලෙමනේඩ් දෙවන පෙළ තරගාවලියේ දී අපේ කණ්ඩායම අනුශූරතාව දක්වා රැගෙන එන්න මට පුළුවන් වුනා. 2013 school boy Cricketer සම්මාන උළෙලේ දී පිට පළාත් හොඳම පිතිකරුවන් අතර අනුශූරතාව දිනා ගන්න පුළුවන් වුනා.”

පාසල් ක්‍රිකට් දිවිය අවසන් වනවාත් සමඟම 2012 වසරේ දී NCC කණ්ඩායමට පැමිණෙන ලහිරු හට මුල් තරගාවලි කිහිපය තුල කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට අවස්ථාවක් නොලැබුනත්, ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේ දී සිය ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන්නට ඔහුට හැකි වුනා. සී. සී. සී කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයේ දී ලකුණු 48ක් සහ ලකුණු 25ක් ලබා ගනිමින් සැලකිය යුතු මට්ටමක දස්කම් අතරට පැමිණියා.

2018 වසරේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් නියෝජනය කළ ලහිරු උදාර සිය කණ්ඩායම් සමඟින්.

2016 වසරේ වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත්වනු ලහිරු 2018/19 පළමු පෙළ තරග වාරයේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකා නැගී එන සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් සඳහා තේරී පත්වුනා.

ඒ වගේම 2018 වසරේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් නියෝජනය කළ ලහිරු 2019 සහ 2020 වසරවල පැවති වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් LB Finance කණ්ඩායමේ ද සාමාජිකයෙක් වෙනවා.

මෙවර පළමු පෙළ (Tier A) තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත්වීමට ලහිරුට හැකි වුන නිසා, එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත 23 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට තේරී පත්වෙන්න ලහිරුට අවස්ථාව ලැබුණා.

2019 සහ 2020 වෙළඳසේවා ක්‍රිකට් (A කොටසේ) තරගාවලියේ ශූරතාව දිනා ගත් කණ්ඩායම නියෝජනය කිරීමට ලහිරු උදාර සමත් වුනා.

“ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ සහ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ හිටපු මගේ සියලුම පුහුණුකරුවන් ඇතුළු ගුරුවරුන් සියලුම දෙනාටත්, මගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ටත්, NCC කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු සියලුම දෙනාටත්, මගේ කළමනාකරු අමිල කළුගලගේ ඇතුළු මට වචනයකින් හරි උදව් කරපු හැම දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ” යැයි ලහිරු අවසන් වශයෙන් ThePapare.com වෙත පැවසුවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජෙහාන් මුබාරක් ThePapare.com වෙත ලහිරු උදාර ගැන අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නක්.

“මම මුලින්ම NCC එකට එනකොට ලහිරු වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමේ හිටියේ, එයා ගොඩක් පොඩියි. අපි ඒක නිසා ලහිරුට කිව්වේ බබා කියලා. එතකොට එයාට මම හිතන්නේ නැහැ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා කියලා. එයාට ඊළඟට තිබ්බේ NCC පළමු පෙළ කණ්ඩායමට ගහන්න. හැබැයි එයාගේ උත්සාහය එයා අත්හැරියේ නැහැ. වැටි වැටි නැගිටලා අපේ දේශීය ක්‍රිකට් තරග රටාව තුල හොඳට තෙම්පරාදු වෙච්ච ක්‍රීඩකයෙක් තමයි ලහිරු කියන්නේ.”

අධිෂ්ඨානය, කැපවීම සහ උත්සාහය තුලින් දස්කම් දක්වමින් ජාතික කණ්ඩායම දක්වා ආපු ලහිරු උදාරගේ ඉදිරි ගමනට ThePapare.com අපේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<