දකුණු ආසියාවේ වේගවත්ම ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

518

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙටිදුර ධාවන පිටියේ සුපිරි දස්කම් දක්වන මලල ක්‍රීඩකයෙකු වන යුපුන් අබේකෝන්, ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වෙමින් මීටර් 100 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තා ද්විත්වයම බිඳ හෙළීමට ඊයේ (08) සමත් විය.

එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.16 (+04) කාලයකින් අවසන් කරමින් රන් පදක්කමක ජයග්‍රහණය කරන්නට යුපුන් සමත් වූ අතර එම ඉසව්වේ දී ඔහු විසින් ජර්මානු මීටර් 100 ශූර Denis Almas පරාජය කිරීමට සමත් වීම ද විශේෂ සිදුවීමකි.

යුපුන් ඉසව්ව නිමා කිරීමට වාර්තා කළ කාලය, හිමාෂ ඒෂාන් විසින් 2019 වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.22ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ජාතික සහ දකුණු ආසියානු වාර්තා ද්විත්වයම අභිබවා යන කාලයක් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

ඉතාලියේ වෙසෙමින් සිය පුහුණුවීම් කටයුතු සිදු කරන යුපුන් අබේකෝන් කොරෝනා වසංගතය නිසා නැවතුණ මලල ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමෙන් පසුව ද ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූයේ මීට පෙර පැවති තරගාවලියක දී ද ඔහු විසින් එම ඉසව්ව තත්පර 10.32ක කාලයකින් නිමා කරමිනි.

ඔහුගේ මෙම ජයග්‍රහණය සැලවීමෙන් අනතුරුව මෙරට ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, එම පුවත ඇසීමෙන් තමන් ඉතාමත් සතුටට පත්වූ බවත්, මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලාංකික අප සැමටම ආඩම්බර විය හැකි අවස්ථාවක් බවයි.

කෙටිදුර ධාවන පිටියේ ඉහළ රිද්මයක සිටින යුපුන් මෙරට මීටර් 100 ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙකු වන අතර නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා 100X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා  දෙන්නට ද කැපවූ ක්‍රීඩකයෙකි. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<