සාවද්‍ය පුවත් ගැන Akramගෙන් විවේචන

Asia Cup 2023

5877

සමාජ මාධ්‍යවල පළ වන සෑම පුවතක් ම සත්‍ය ඒවා නොවන බව පරිශීලකයින් විසින් වටහා ගත යුතු යැයි හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Wasim Akram විසින් සඳහන් කරනවා. 

“සමාජ මාධ්‍යවල තියෙන හැම දෙයක් ම ඇත්ත කියලා විශ්වාස කරන එක මිනිස්සු නවත්තන්න ඕන. ඇත්තට වඩා නරක දේවල් විශ්වාස කිරීම හැම විටම පහසුයි.” 

ඊයේ (19) සවස සිය Twitter (X) ගිණුම හරහා සටහනක් තබමින් Akram සඳහන් කරන්නේ අසත්‍ය පුවත් විශාල ගැටලු ඇති කිරීමට හේතු විය හැකි බවයි. 

“අසත්‍ය පුවත් මගින් අනවශ්‍ය මතභේද අවුළුවනවා. වෛරය අවුළුවනවා. දෙරටට ම තවදුරටත් අවශ්‍ය නොවන විරසකය දැඩි කරනවා. 

ඇති කියන්නේ ඇති!” 

ඔහු විසින් මෙම Twitter සටහන තැබීමට හේතුව කුමක් ද යන්න මෙහි සඳහන් වී නැහැ. කෙසේ වෙතත් නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව හමුවේ ලද දරුණු පරාජයෙන් පසුව Wasim Akram විසින් මෙම පරාජයේ යම් සැක සහිත බවත් ඇතැයි පැවසූ බව සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරී ගියා. 

බොහෝ දෙනා විසින් මෙහි සත්‍යාසත්‍ය බව හෝ නොවිමසා එම පුවත වෙනුවෙන් තවත් ඌනපූර්ණ එක් කිරීම නිසාම එහි බරපතළ බව තවත් ඉහළ ගියා.  

Akram විසින් පළ කළ Twitter සටහනට හේතුව සඳහන් නොවුනත් ඉහත කරුණ ද එක් හේතුවක් වීමට ඉඩ තිබෙනවා. 

එමෙන්ම මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ පාකිස්තාන සංචිතයෙන් කණ්ඩායමේ උප නායක Shadab Khan ඉවත් කර ඇති බව පවසන පුවතක් ද ඊයේ දිනයේ සමාජ මාධ්‍යවල හුවමාරු වුනා. ඔහු වෙනුවට තවමත් එක්දින ජාත්‍යන්තර වරම් නොලද Abrar Ahmed කණ්ඩායමට එක් වනු ඇතැයි ද මෙම වාර්තා වල සටහන් වුනා.  

නමුත් තවමත් එවැන්නක් නිල වශයෙන් වාර්තා වී නැහැ. එමෙන්ම Abrarව කණ්ඩායමට ගෙන ඒමට සූදානම් කරවන බවක් හෝ පාකිස්තානයෙන් දැන ගැනීමට නොමැති බවයි Wisden විසින් සඳහන් කරන්නේ. 

මීට අමතරව ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලද අවාසනාවන්ත පරාජයෙන් පසුව පාකිස්තාන කණ්ඩායමේ නායක Babar Azam සහ වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බවට ද පසුගිය දිනවල පුවත් වාර්තා වුනා. නමුත් ඒවා ද නිල වශයෙන් තහවුරු ඒවා නම් නොවෙයි. 

Akram විසින් තැබූ Twitter සටහනට ඉහත සිදුවීම වල ද යම් සම්බන්ධයක් ඇතැයි අනුමාන කළ හැකියි.  

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු ම උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Wisden ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<