“තරග පාවාදීම් කියන්නේ විකාර කතාවක්” – Akhtar

Asia Cup 2023

11245

2023 ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය 12 වැනි දා පැවැත්වුණු තරගයේ දී ඉන්දියාව විසින් හිතාමතා ම දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට පාකිස්තානයෙන් නැගෙන චෝදනාව හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shoaib Akhtar විසින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 213ක් පමණයි. බලාපොරොත්තු නොවූ අයුරින් ඉන්දීය පිතිකරණ බළඇණිය බිඳ හෙළීමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් විසින් සමත් වුනා. නමුත් ඉන්දියාව විසින් ලබා දුන් ඉලක්කය හඹා යාමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ද අතිශය අසීරු තත්වයට පත් වූ අතර අවසානයේ ඉන්දියාව ලකුණු 41කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම පිතිරණයේ නිරත වන විට පාකිස්තානයෙන් චෝදනා නැගී තිබුණේ ඉන්දියාව විසින් පාකිස්තානය මෙවර තරගාවලියෙන් ඉවතට ඇද දැමීම සඳහා බලාපොරොත්තු සහගත ව මෙසේ පන්දුවට පහර දෙන බවයි.

“ඉන්දියාව තරගය පාවාදීලා කියලා මට කෙටි පණිවුඩ ආවා, ඒවායේ තිබුණේ පාකිස්තානය එළියට ඇද දැමීම වෙනුවෙන් ඔවුන් දුර්වල ලෙස ක්‍රීඩා කරනවා කියලා.

ඔබේ ඔළුව අවුල් වෙලා ද?

ඔවුන් (ශ්‍රී ලංකාව) සිය උපරිමයෙන් පන්දු යැව්වා. වෙල්ලාලගේ ඉතාම හොඳින් පන්දු යැව්වා. ඒ වගේම ඔහු ලකුණු 43කුත් වාර්තා කළා.

එක් වරම පාකිස්තානය එළියට යවන්න අවශ්‍ය නිසා ඉන්දියාව පරාජය වෙන්න යනවා කියලා මට දුරකතන ඇමතුමක් ආවා.

ඇයි ඔවුන් පරාද වෙන්නේ?

ඒ තරගය ජයග්‍රහණය කරලා අවසන් තරගයට සුදුසුකම් ලබන්න පුළුවන් වෙලා තිබුණා. ඔවුන් ඒක සිදු කළා.

විකාර කතා.”

තම Youtube නාලිකාව මගින් පළ කළ වීඩියෝ පටයක් මගින් Shoaib Akhtar විසින් මේ සිදුවීම හෙළිදරව් කළා. මෙහි දී ඔහු විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම අගය කළා සේ ම, කුඩා ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉන්දීය පන්දු යවන්නන් දැරූ උත්සාහය ද අගය කිරීමට අමතක කලේ නැහැ.

“ඉන්දියාව ඉතා විශිෂ්ට ලෙස නැවත සටන් කළා. Kuldeep කණ්ඩායමට වාසියක්. Bumrah දෙස බලන්න, ඉතා කුඩා ඉලක්කයක් ආරක්ෂා කිරීමට සිදු කළ සටන දෙස බලන්න.”

සුළුතර පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් විසින් මෙවන් අදහසක් දැරුවත් සත්‍ය එය නොවන බව ඉන්දියාව විසින් ම තරගය අවසානයේ ඔප්පු කර පෙන්වීමට සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ඊයේ (14) දිනයේ දී තරගාවලියේ මෙතෙක් පැවැත්වුණු තීරණාත්මක ම තරගයට ක්‍රීඩා කිරීමට සිදු වූ අතර එයින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව විසින් සමත් වුනා.

තරග පාවා දීම් කෙසේ වෙතත් පාකිස්තානය ඊයේ තරගය ජයග්‍රහණය කළා නම් ඔවුන්ට එළඹෙන ඉරිදා දිනයේ දී ඉන්දියාව සමඟින් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ඉතිරි වී තිබුණා.

නමුත් තවත් ඉන්දු – පාකිස්තාන තරගයක් වෙනුවෙන් ඉඩ නොතැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඊයේ තරගයට ප්‍රථම Akhtar විසින් නිකුත් කල මෙම වීඩියෝ පටයේ දී ඔහු විසින් ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර ඇති වෙනස මෙසේ පැහැදිලි කළා.

“ වෙල්ලාලගේ වයස අවුරුදු 20ක කොල්ලෙක්. ඔහු පන්දු යැවීම සහ පිතිකරණය එක ලෙස කරනවා. එතන සටනක් තියෙනවා.

අපේ ක්‍රීඩකයින්ගෙන් ඒ සටන මම දකින්නේ නැහැ. බලන්න ඔබට බැහැ වේගපන්දු යවන්නන්ට බනින්න. ඔවුන් එක දිගට එක්දින තරග ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් පසුව Haris, Naseem, Shaheen ආබාධවලට ලක් නොවී පන්දුවාර 10ම යොමු කරා වී කියලා ඔබ බලාපොරොත්තු වෙනවා.

මට අවශ්‍ය ඔවුන් ආසියානු කුසලානයේ දී සටන් කිරීමයි, අඩුම තරමේ ලකුණු 300ක් හඹා යන්න. ලකුණු 275ට ළඟා වෙන්න. ඔබ ඉක්මනට අතහරිනවා. ඒක නින්දා සහගතයි.”

Akhtar විසින් ඊයේ තරගයට පෙර දැක් වූ අදහස් සහ ඊයේ තරගයේ දී මෙම කණ්ඩායම් දෙකේ වෙනස අතර සම්බන්ධයක් පවතී ද යන්න විනිශ්චය කිරීම ඔබට බාරයි.

2023 ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ අවසන් තරගය අද (15) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය පිළිබඳවත් සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<