“දරුණු පරාජය ඉදිරි ජයග්‍රහණවලට හේතුවක් වේවි” – Silverwood

Asia Cup 2023

695

පසුගිය ඉරිදා (18) පැවැත්වුණු ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාව හමුවේ ලද අවාසනාවන්ත පරාජය ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් හොඳ තල්ලුවක් වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Chris Silverwood මහතා විසින් පවසනවා. 

මෙම තරගයේ දී සියලු ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ලකුණු 50කට දැවී ගිය අතර, තියුණු අවසන් තරගයක් බලාපොරොත්තුවෙන් සිටි බොහෝ ක්‍රිකට් රසිකයින් මේ පරාජයෙන් පසුව දැඩි වේදනාවට පත් වූ බව පෙනෙන්නට තිබුණා. 

“පැහැදිලිව ම එය අපිට නරක දිනයක්. අපි ක්‍රීඩා කළ ආකාරයට මේ විදිහට අවසන් කිරීමට සිදුවීම බලාපොරොත්තු සුන් කරවන සුළුයි.” 

එදින ඉන්දීය පන්දු යැවීම ඉතා හොඳ මට්ටමක තිබූ බව මෙන්ම ශ්‍රී ලංකාවේ පිතිකරණය එතරම් හොඳ මට්ටමක නොපැවතුණු බවත් Silverwood විසින් මෙහි දී සඳහන් කරනවා. කෙසේ වෙතත් ලෝක කුසලානය අත ළඟ තබා ගෙන මෙම පරාජය මත්තේ ම එල්ලී සිටීමට නොහැකි බවයි ඔහු පවසන්නේ. එම නිසා ලද පරාජයෙන් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට යා යුතු බව ඔහු පවසනවා. 

මුලින් ම අපි අවසන් තරගයට එන්න ඉතාම හොඳින් ක්‍රීඩා කළා. අපිට මෙතැනට එන්න ගොඩක් මහන්සි වෙන්න සිදු වුනා. ඒ නිසා මට නම් අවසන් මහා තරගයට පැමිණීමට හැකි වීම ජයග්‍රහණයක්.” 

නමුත් අවසන් මහා තරගයක දී එවන් පරාජයක් ලැබීම ඉතාම කලකිරීමට පත් කරවන සුළු බවත් ඔහු සඳහන් කරනවා. එය තමන්ට සහ අනෙක් පුහුණුකරු කාර්ය මණ්ඩලයට මෙන්ම ක්‍රීඩකයින් හට ද රිදුම් දෙන හැඟීමක් බවයි Silverwood පවසන්නේ. එම නිසා ක්‍රීඩකයින්ට නැවත සිය සුපුරුදු මානසිකත්වයට පැමිණීම සඳහා යම් කාලයක් (විවේකයක්) ලබා දුන් බවත් ඔහු පවසනවා. 

සමහර විට, විශාල තරගාවලියකට යන්න කලින් පිටිපස්සෙන් පොඩි කික් එකක් වදින එකත් නරකම නැහැ මට නම්. සමහර විට මෙය අවදි වීමට ලැබුණු ඇමතුම වෙන්න පුළුවන්.” 

මෙම පරාජය එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් යම් ආකාරයක දිරි ගැන්වීමක් වනු ඇති බවයි Silverwood සඳහන් කරන්නේ. එමෙන්ම මෙහි දී ඔහු විසින් නිමා වූ තරගාවලියේ දී දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් විසින් දැක්වූ දක්ෂතා පිළිබඳව ද විශේෂ ඇගයීමක් සිදු කළා. නමුත් එම දක්ෂතා ස්ථාවර ලෙස පවත්වා ගැනීම වඩා වැදගත් බවත් ඔහු අවධාරණය කරනවා. 

එහි දී හොඳ තනි පුද්ගල දක්ෂතා කිහිපයක් තිබෙනවා. ඒ වගේම හොඳ කණ්ඩායම් දක්ෂතාත් තියෙනවා. නමුත් ස්ථාවරත්වය තමයි අපි අපේ ක්‍රීඩාවට ගෙන ඒමට අවශ්‍ය දෙය.” 

නිමා වූ ආසියානු කුසලානයේ දී බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස්කම් අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය තෙක් රැගෙන ඒමට සමත් වුනා. නමුත් මෙම තරගාවලියේ දී මෙන්ම පසුගිය කාලය පුරාවටම නායක දසුන් ශානකගේ දක්ෂතාවල කැපී පෙනෙන අන්දමේ පසුබෑමක් පෙනෙන්නට ඇති බව මේ දින වල බොහෝ සෙයින් කතාබහට ලක් වෙමින් පවතිනවා. 

මේ පිළිබඳ ව ද අදහස් දැක්වූ පුහුණුකරු Silverwood විසින් පවසන්නේ ඔහුට තමන් පිළිබඳ ව ම විශ්වාසය ඇති කළ යුතු බවයි. 

“අපි දන්නවා ඔහුට මොනවද පුළුවන් කියලා. අපි එය කලින් දැකලා තියෙනවා. ඔහුට විනාශකාරී පිතිකරුවෙකු විය හැකි. ඒ වගේම මේ තරගාවලියේ දී අපි දැක්කා ඔහු ප්‍රයෝජනවත් වේගපන්දු යවන්නෙකු බවත්.” 

විශේෂයෙන්ම නායකයෙකු ලෙස දසුන් ඉතා සාර්ථක බවත්, ඔහුට අනෙක් ක්‍රීඩකයින්ගෙන් විශාල ගෞරවයක් හිමි වන බවත්, ඔහු ද පෙරලා තම ක්‍රීඩකයින්ට විශාල සහයක් ලබා දෙන බවත් Silverwood විසින් මෙහි දී සඳහන් කර තිබුණා.  

එම නිසාම ඔහු තනි වී නොමැති බවත්, සියලු ම දෙනා ඔහු වෙනුවෙන් සිටින බවත් පවසන Silverwood අවධාරණය කරන්නේ එක් හොඳ ඉනිමකින් දසුන්ගේ මෙම සියලු ගැටලු නිරාකරණය වනු ඇති බවයි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<