මිෂාරගේ උත්සාහය එංගලන්තය හමුවේ අපතේ යයි

72

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර කූලීජ්හීදී ඊයේ (15) පැවති එක්දින තරගයෙන් කඩුලු 4ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට එංගලන්තය තීරණය කළේය. එහෙත් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 113කට දැවී ගියේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු කමිල් මිෂාරට ද ලබාගත හැකි වූයේ ලකුණු 23ක් පමණක් වූ අතර මැදපෙළ පිතිකරුවන් අතරින් අහන් වික්‍රමසිංහ හා ලක්ෂාන් ගමගේ පිළිවෙළින් ලකුණු 17ක් හා 11ක් ලබා ගත්තේය.

ඒ හැරුණු කොට අංක 7 පිතිකරු සොනාල් දිනූෂ ලකුණු 18ක් හා අගපෙළ පිතිකරු අශේන් ඩැනියෙල් නොදැවී ලකුණු 19ක් ලබා ගත්තේය.

එහෙත් අන් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකු හට ලකුණු 10 සීමාව හෝ ඉක්මවීමට ඉඩ ලබා නොදීමට බල්ඩර්සන් හා කරී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන් වග බලා ගත්තේ ශ්‍රී ලංකා ඉනිම යන්තම් ලකුණු 113කට සීමා කරමිනි.

ඉතා දුර්වල පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් හුදකලාව යම් හෝ දායකත්වයක් කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනු ලැබුවේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පමණි.

පන්දු යැවීමේ දී බල්ඩර්සන් හා කරී දෙදෙනාම 18/3 ලෙස තම පන්දු යැවීම් වාර්තා සටහන් කළේය.

ලකුණු 114ක පහසු ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ බෙන් චාර්ල්සවෝත් හා සෑම් යංග් ය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් සෑම් යංග්ව ආ විගසින්ම ලකුණු 6කට දවා ගැනීමට අෂේන් ඩැනියෙල් සමත් වූයේ එංගලන්ත ලකුණු පුවරුව 12/1ක් බවට පත්කරමිනි.

අනතුරුව පිටියට එක්වූ ඩාන් මවුස්ලි, චාර්ල්සවෝත් සමඟ එක්ව එංගලන්ත ලකුණු පුවරුව 65ක් දක්වා රැගෙන ගියේ දෙදෙනා අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවයක් පවත්වමිනි.

එහි දී එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මවුස්ලි ලකුණු 43ක් හා ආරම්භක පිතිකරු චාර්ල්සවෝත් ලකුණු 24ක් රැස් කළේය. 

ඉන්පසුව ඔවුන් දෙදෙනාගේම කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ කිරීමට කවිඳු නදීෂාන් සමත් වූයේ හුදකලා සටනක නිරත වෙමිනි.

නමුත් එංගලන්ත මැදපෙළ පිතිකරු ජැක් හේන්ස්ගේ ලකුණු 19 ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වූයේ ඔහු එක් අන්තයක් රැකගනිමින් බොහෝ වේලාවෙක් කඩුල්ලේ රැඳී සිටි බැවිනි.

කෙසේ වෙතත් වැඩි වේලාවක් යාමට මත්තෙන් අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ දිලුම් සුධීර තිලකරත්න එවිසන් හා හිල් දෙදෙනාව ලකුණු 3 බැගින් ලබා සිටිය දී දවා ගැනීමට සමත් වූයේ එංගලන්ත ලකුණු පුවරුව 101/6ක් බවට පත්කරමිනි.

එහෙත් ඒ වන විටත් ජයග්‍රහණය පෙනෙන මානයේ සිටි එංගලන්තය තම ජයග්‍රාහී ඉලක්කය 33 වැනි පන්දුවාරයේ දී සපුරා ගනු ලැබුවේ එංගලන්තයට කඩුලු 4ක පහසු ජයක් හිමිකර දෙමිනි.

තරගාවලියේ මීළඟ තරගය ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර හෙට (17) කූලීජ්හීදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 113/10 (පන්දුවාර 42.4): කමිල් මිෂාර 23, අශේන් ඩැනියෙල් 19*,  සොනාල් දිනූෂ 18, ජෝර්ජ් බල්ඩර්සන් 3/18, ස්කොට් කරී 3/18

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 115/6 (පන්දුවාර 33): ඩාන් මවුස්ලි 43, බෙන් චාර්ල්ස්වෝත් 24, ජැක් හේන්ස් 19, කවිඳු නදීෂාන් 3/33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<