ආබාධවලට පසුව සුපිරි ක්‍රිකට් තරු 3ක් මූලික සංචිතයට

3729

ලබන මස 6 වැනිදා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ලෙස ආරම්භ වන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් තොරාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (27) නිවේදනය කළේය.

නිදහස් කුසලානයේ බංග්ලාදේශ වගකීම් ශකීබ්ට

ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන් ලබන 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය…

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් කලව ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින නිසා ඔහුව තවදුරටත් විවේක ගැන්වීමට තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. ඒ නිසාවෙන් ඔහුට මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පවා අහිමිව ඇත. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හට නැවතත් සංචිතයේ නායකත්වය ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ නිමා වූ බංග්ලාදේශ තරගාවලිය තුළ චන්දිමාල් නායකයෙක් ලෙස සාර්ථක වූ බැවිනි.

මේ මූලික සංචිතයට නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා හා දුශ්මන්ත චමීර නැවතත් කැඳවා ඇත්තේ ඔවුන් ලක්ව සිටි ආබාධවලින් පූර්ණ ලෙස සුව වී සිටීම නිසාවෙනි. ඔවුන් සියලු දෙනාම මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දස්කම් අතර සිටියි.

කාගේත් අවධානයක් දිනාගත් ලසිත් මාලිංග හට මෙවරත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය තුළ සිය ස්ථානය අහිමි වී ඇති නමුත් මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 3කට සහභාගි වූ මාලිංග කඩුලු 8ක් දවාගෙන ඇත.

නිදහස් කුසලානයට මැතිව්ස් එයි ද? බලධාරීන් බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හට මෙම සති අන්තයේ ලැබුණු හොඳ ප්‍රවෘත්ති අතරට ආබාධයන්ට ලක්ව සිටි ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු වන කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප්…

එසේම නිමා වූ බංග්ලාදේශ තරගාවලිය සිය මංගල තරගාවලිය කර ගත් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුසංක ද කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූයේ එම තරගාවලිය අතරතුර දී වන අතර ඔහුටත් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව යම් කාලයක විවේකයක් උවමනා කර ඇත.

තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතය හෙට (28) නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුව සිටියි.

නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය හා ඉන්දියාව සහභාගි වන අතර තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7.00ට ආරම්භ වෙනු ඇත.

 ශ්‍රී ලංකා මූලික සංචිතය 

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝශන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ , අකිල දනංජය, අමිල අපෝන්සු, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුශ්මන්ත චමීර, ධනංජය ද සිල්වා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<