වනිඳු සහ කුසල්ගේ කණ්ඩායම් අවසන් මහා තරගවලට!

ILT20 2023 / SA20 2023

370

ILT20 තරගාවලියේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට වනිඳු සහ මතීෂ ක්‍රීඩා කරන Desert Vipers කණ්ඩායමත්, SA20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් නියෝජනය කරන Pretoria Capitals කණ්ඩායමත් ඊයේ (08) සමත් වුනා.

Qualifier 1 (ILT20) – Desert Vipers සහ Gulf Giants කණ්ඩායම් අතර

ILT20 තරගාවලියේ මූලික වටය නිමා වෙද්දී ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටි කණ්ඩායම් ද්විත්වය අතර ඊයේ තරගය පැවැත්වුණු අතර, තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් Desert Vipers නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන Vipers කණ්ඩායමේ Alex Hales ප්‍රමුඛ Vipers මුල්පෙළ බිඳ වැටෙද්දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එකතු වුන වනිඳු හසරංග සහ Sam Billings ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

මෙහි දී වනිඳු විසින් පන්දු 20කින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූ අතර, Billings ද ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා.

ඊට අමතරව පාදයේ ආබාධයක් ද සහිතව තනි කකුලක ආධාරයෙන් Vipers ඉනිමට ශක්තිමත් අවසානයක් ලබා දීමට Sherfane Rutherford සමත් වූ අතර ඔහු පන්දු 19කින් ලකුණු 37 රැස් කරද්දී, අනෙක් අන්තයෙන් ඔහුට සහය වුන Tom Curran ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Giants වෙනුවෙන් Chris Jordan ලකුණු 40කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Gulf Giants කණ්ඩායමට පන්දුවාර 19.4ක දී සියල්ලන් ම දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 159ක් පමණයි. එහි දී Giants ඉනිම වෙනුවෙන් Shimron Hetmeyer විසින් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුනා.

Vipers වෙනුවෙන් පන්දු යැවීමේ දී වනිඳු හසරංග නැවතත් සාර්ථක වෙමින් ලකුණු 36කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඔහු සිය මුල් පන්දුවාර දෙකේ දී ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනත්, ඉතිරි පන්දුවාර දෙකේ දී ඔහුගෙන් ලකුණු 33ක් උදුරා ගැනීමට Giants සමත් වුනා.

එමෙන්ම තරගයේ වීරයා සම්මානය ද තමන් සතු කර ගනිමින් විශිෂ්ට පන්දු යැවීම නිරත වීමට Tom Curran සමත් වුනේ ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.

ඒ අනුව Giants පරදවා ලකුණු 19ක ජයක් ලැබූ Desert Vipers ඉරිදා (12) පැවැත්වීමට නියමිත ILT20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

Semi-Final 01 (SA20) – Pretoria Capitals සහ Paar Royals කණ්ඩායම් අතර

SA20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස මෙය පැවැත්වුණු අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Pretoria Capitals නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් රැස් කිරීමට සමත් වුනා.

පෙර දින (07) පැවැත්වුණු තරගයේ දී Paar Royals කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් ඊයේ ලකුණු 7කට දැවී ගිය අතර ඔහුගේ සහයක ආරම්භ පිතිකරු Phil Saltට රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 22ක් පමණයි.

Pretoria Capitals කණ්ඩායමේ සාර්ථක වූ එකම පිතිකරු ලෙස Rilee Rossouw පන්දු 41කින් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුනා.

Royals වෙනුවෙන් පන්දු යැවීමේ දී Andile Phehlukwayo කඩුලු 3ක් සහ Tabraiz Shamsi කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Paar Royals කණ්ඩායමට ද බලාපොරොත්තු වූ ලෙස ලකුණු හඹා යාමට Capitals පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ඔවුන් පන්දුවාර 19ක් තුල සියල්ලන් ම දැවී රැස්කර ගත්තේ ලකුණු 124ක් පමණයි. එහි දී Royals වෙනුවෙන් ලකුණු 30 සීමාව හෝ ඉක්මවා යාමට සමත් වුනේ නායක David Miller පමණයි.

මෙහි දී Capitals වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Eathan Bosch, Anrich Nortje, Adil Rashid සහ James Neesham කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව Royals පරාජය කරමින් ලකුණු 29 ක ජයග්‍රහණයක් ලද Pretoria Capitals සෙනසුරාදා පැවැත්වීමට නියමිත SA20 තරගාවලියේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර අද ILT20 තරගාවලියේ දසුන් ශානක, භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් නියෝජනය කරන Dubai Capitals සහ MI Emirates කණ්ඩායම් අතර Eliminator තරගය පැවැත්වීමට නියමිත අතර ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම හෙට (10) දිනයේ Qualifier 2 තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

එමෙන්ම SA20 තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ද අද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Johannesburg Super Kings සහ Sunrisers Eastern Cape කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

ILT20 තරගාවලියේ සහ SA20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<