කුසල්ගේ විශිෂ්ට ඉනිම දැවැන්ත ජයකට පාර කපයි!

SA20 league 2023

3896

ඊයේ (07) පැවැත්වුණු SA20 තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් Paarl Royals කණ්ඩායම පරාජයට පත් කළ Pretoria Capitals කණ්ඩායම ලකුණු 59ක ජයක් වාර්තා කළ අතර, එම තරගයේ වීරයා ලෙස Capitals නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Pretoria Capitals නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 226ක් රැස් කළ අතර, එහි දී Capitals කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් මෙන්ඩිස් පන්දු 41කින් වේගවත් ලකුණු 80 ක් රැස් කළා. මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත වුනා.

මෙන්ඩිස් සමඟ Capitals ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් Phil Salt පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගත් අතර, Capitals ඉනිමට ශක්තිමත් අවසානයක් ලබා දුන් Colin Ingram සහ James Neesham පිළිවෙළින් වේගවත් ලකුණු 41ක් සහ 22ක් ලබා ගත්තා.

Capitals විසින් ලබා දුන් ලකුණු 227ක අභියෝගය හඹා යාමට පිටියට පිවිසි Paarl Royals කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 167ක් පමණයි.

Royals වෙනුවෙන් Jos Buttler පන්දු 45කින් ලකුණු 75ක් රැස් කළ අතර ඊට අමතරව කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට Capitals පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. Capitals වෙනුවෙන් James Neesham කඩුලු 3ක් බිඳ හෙළන අතරේ Migael Pretorius සහ Adil Rashid විසින් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

එම තරගයත් සමඟ SA20 තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන් වූ අතර, මූලික වටය අවසානයේ ක්‍රීඩා කළ 10න් 7ක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Pretoria Capitals සමත් වුනා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වන අතර පළමු අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 9ට Pretoria Capitals සහ Paar Royals (ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය) කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර, දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (09) ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් johannesburg super kings සහ Sunrisers Eastern Cape කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරග ද්විත්වය ජයග්‍රහණය කරනා කණ්ඩායම් දෙක ලබන සෙනසුරාදා (11) පළමු SA20 තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.

SA20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<