ජූඩෝ සංගමයට අද අතුරු කමිටුවක්

111

ආන්දෝලනයකට තුඩුදුන් මූල්‍ය වංචා සිදුවීම් ගණනාවකට මුහුණ පා ඇති ශ්‍රී ලංකා ජූඩෝ සංගමයට අද (11) ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා අතුරු කමිටුවක් පත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජූඩෝ සංගමයට අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට සිදුවී ඇත්තේ වසර ගණනාවක කාලයක් පුරා එම සංගමයේ සිදුවී ඇතැයි කියන විවිධ මුල්‍යමය අක්‍රමිකතා හේතුවෙන් පාර්ශව කිහිපයක් නඩු මගට පිවිස සිටින බැවිනි.‍

ජූඩෝ සංගමයේ හිටපු සභාපතිවරයකු ලෙස ක්‍රීඩාවට විශාල කාර්යභාරයක් ඉටු කළ කිත්සිරි සොයිසා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මේ අතුරු කමිටුවේ උපසභාපතිවරයා ලෙස එම සංගමයේ හිටපු ලේකම්වරයකු වන ලක්ෂ්මන් ගුණසේකර මහතා කටයුතු කිරීමට නියමිතය. ජූඩෝ අතුරු කමිටුවේ ලේකම් තනතුර සඳහා වෛද්‍ය සම්පත් වීරසිංහ මහතා පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව හිටපු ජාතික ජූඩෝ ශූරයන් වන ලලිත් අඟුණාවල, පී.සී.පුෂ්පකුමාර සහ රංජිත් දයානන්ද මහත්වරු කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට නියමිතය. භාණ්ඩාගාරික තනතුර සඳහා හිටපු භාණ්ඩාගාරික සරත් විජේසිංහ මහතා පත්වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ජූඩෝ සංගමයේ හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පාර්ශව කිහිපයක් මගින් මේ වනවිට වංචා විමර්ශන අංශයට හා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයට ව්‍යාජ අයවැය ලේඛන ඉදිරිපත් කොට මේ වසරේ ජූඩෝ නිලවරණය පැවැත්වීමට සභාපති හා උපලේකම් නාමයෝජනා කැඳවීම සම්බන්ධව ගොනු කළ නඩුවක් ද විභාගවෙමින් තිබේ. එබැවින් අතුරු කමිටුවක් පත් කිරීමෙන් සියලු කරුණු කාරණා විමර්ශනය කිරිමට ක්‍රීඩා අමාත්‍යංශයට වැඩි ඉඩකඩක් ලැබෙනු ඇතැයි ජූඩෝ සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.