මහේල ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට සහය පළ කරයි!

Border - Gavaskar Trophy 2023

4535

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන ටෙස්ට් දස්කම් පිළිබඳ සතුටු විය හැකි බවත්, ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමි වන්නැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසනවා.

ආසන්න දිනයක දී ICC නිල වෙබ් පිටුව හා සම්බන්ධ වෙමින් ICC Review වැඩසටහනට සහභාගී වීමට අවස්ථාවක් හිටපු නායක මහේල ජයවර්ධන හට හිමි වූ අතර, එහි දී ඔහු නුදුරේ දී ම ආරම්භ වීමට නියමිත ඉන්දු – ඕස්ට්‍රේලියා (Border – Gavaskar) ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය පිළිබඳවත් අදහස් දැක්වූවා.

මේ වන විට ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දෙකේ පසු වන ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන කණ්ඩායම් ද්විත්වය මේ වන විට පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ ද පළමු ස්ථාන දෙක හිමි කර ගනිමින් එහි අවසන් මහා තරගයට සහභාගී වීමට වැඩි අවස්ථාවක් සහිත කණ්ඩායම් ලෙස ද දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායම් දෙකට අමතරව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ වැඩි අවස්ථාවක් සහිතව සිටින අනෙක් කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන අතර ඔවුන් ඒ සඳහා එළඹෙන නවසීලන්ත සංචාරයේ දී ඉහළ ටෙස්ට් තරග දස්කම් පෙන්විය යුතු අතරම, ඕස්ට්‍රේලියාව විසින් ඉන්දීය කණ්ඩායම එළඹෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී පරාජය කරන තෙක් ද බලා සිටිය යුතු වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙර සිටි තැන පිළිබඳ සලකා බලද්දී ඔවුන් දැන් සිටින තැන පිළිබඳ සතුටු විය හැකි බව ICC සමඟ සිදු කළ සාකච්ඡාවේ දී මහේල ජයවර්ධන සඳහන් කර තිබුණා.

“මම හිතන්නේ ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි/ අටවැනි ස්ථාන වල හිටියේ. ඔවුන් ක්‍රිකට් වලින් සෑහෙන්න පුදුමාකාර දේවල් කළා. ඒ වගේම ඔවුන් ස්ථාවර ලෙස ක්‍රිකට් ක්‍රීඩා කළා, දැන් ඔවුන් ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන මට්ටමට ඇවිත් ඉන්නවා.

නවසීලන්තය කියන්නේ හොඳම කණ්ඩායමක්, ඒ නිසා ඒක හොඳ තරගාවලියක් වේවි. මම ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවට ඒ තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම ඕස්ට්‍රේලියාවටත් පුළුවන් ඉන්දියාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් දේවල් ටිකක් කරන්න. නමුත් ඒක අසීරු දෙයක් වේවි, ඒක අසීරු තරගාවලියක්.”

එමෙන්ම ඕස්ට්‍රේලියාව 2004 වසරෙන් පසුව මේ වන තෙක් ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර නොමැති අතර, එම ඉතිහාසය මෙවර Pat Cummins ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වෙනස් කළ හැකි බව ජයවර්ධන සඳහන් කරනවා.

“මම හිතන්නේ ඒක ඉතාම හොඳ තරගාවලියක් වෙන්නයි යන්නේ, කණ්ඩායම් දෙක අතර හොඳ තරගයක් ඇති වේවි. නමුත් ඔවුන් තරගාවලිය ආරම්භ කරන විදිහ එක්ක එය රඳා පවතී වී.

පෙරැයීම් කිරීම අසීරු දෙයක්, නමුත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඕස්ට්‍රේලියාවට හොඳ දෙයක් කරන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඕස්ට්‍රේලියාව 2-1ක් විදිහට තරගාවලිය ජයග්‍රහණය කරාවී, නමුත් ඒක අසීරු දෙයක් වේවි.”

එමෙන්ම වත්මන් ඉන්දීය සීමිත ඕවර තරග රටාවේ අතිශයින් ම සාර්ථක පිතිකරුවා වන Shubman Gill පිළිබඳවත් මහේල විසින් අදහස් දක්වා තිබුණා.

“ඔහු තාක්ෂණික ව ඉතාමත් හොඳයි. ඒ වගේම වේගපන්දුවටත් හොඳින් මුහුණ දෙනවා. ඔහු දැන් ඉන්නේ ඉතාම හොඳ තත්වයක, ඔහුට හැකි වුනොත් ඒ තත්වය රතු පන්දුවටත් රැගෙන එන්න ඉන්දීය මුල්පෙළට එය විශාල ශක්තියක් වේවි.”

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 9 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වීමට නියමිත අතර, අවසන් සහ හතර වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියේ ආරම්භය ලෙස පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ද ඉන්දු – ඕස්ට්‍රේලියා සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සමගාමීව මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

එළඹෙන Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<