ආබාධයෙන් සුවය ලබමින් සිටින වනිඳුත් ඇෆ්ගනිස්තාන තරගාවලියට!

Sri Lanka vs Afghanistan 2023

845

2023 IPL තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එළඹෙන ඇෆ්ගනිස්තානය සමඟ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වනු ඇති බව දැන ගන්නට ලැබෙනවා

Sunday Times විසින් වාර්තා කරන පරිදි ඇෆ්ගනිස්තානය සමඟ එළඹෙන ජුනි 2 වැනිදා පටන් ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ වනිඳු හසරංගගේ නම ද ඇතුළත් කර තිබෙනවා.

නමුත් මේ දිනවල ක්‍රියාත්මක වන IPL තරගාවලියේ මූලික වටයෙන් ම ඉවතට විසි වූ Royal Challengers Bangalore සමඟ සිටිය දී වනිඳු ආබාධයකට ලක් වූ බවයි මීට පෙර අණාවරණය වුනේ.

කෙසේ වෙතත් ඔහු මේ වන විට එම ආබාධ තත්වයෙන් සුවය ලබමින් සිටින අතර එළඹෙන තරගාවලියේ තරග එකකට හෝ දෙකකට ඔහුව සහභාගී කර ගැනීමේ අරමුණින් යුතු ව ඔහු මෙම සංචිතයට එක් කර ගෙන ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා ලෙස වනිඳු මත වැඩි බරක් පැටවුණු අතර, එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ද ඔහුගේ අවශ්‍යතාව කණ්ඩායමට ඉතා තදින් දැනෙනු ඇති.

මේ පිළිබඳ අවධානය යොමු කර ඇති තේරීම් කමිටු නිළදාරීන් විසින් ඔහුගේ කාර්ය කළමනාකරණය කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට ද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<