දසුන්ට වැඩ වැරදෙද්දී ගිල්ගේ ශතකය බැංගලෝරය ගෙදර යවයි!

1108
Credit : BCCI

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග ඊයේ (21) දිනයෙන් අවසන් වුනා. එහි දී Play offs වටයේ අවසන් අසුන වෙනුවෙන් Gujarat Titans සමඟින් තරග වැදුණු Royal Challengers Bangalore කණ්ඩායමට එම තරගය පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් වන්නට ද සිදු වුනා.

මේ නිසා ඉදිරියට වටයට සුදුසුකම් ලබා ගැනීමට වාසනාවන්ත වුනේ Mumbai Indians කණ්ඩායමයි. ඔවුන් සමඟ Gujarat Titans, Chennai Super Kings සහ Lucknow Super Giants යන කණ්ඩායම් ත්‍රිත්වය පමණක් ඉදිරියට යාමට සමත් වුනේ මෙතෙක් කල් හොඳ තරගයක් ලබා දුන් ඉතිරි කණ්ඩායම් සියල්ල තරගාවලියෙන් සමුගනිද්දීයි.

චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ඇරඹුණේ හෝරාවකට ආසන්න ප්‍රමාදයකින් පසුවයි. බැංගලෝර් ප්‍රදේශයට ඊයේ සන්ධ්‍යාවේ ඇදහැළුණු වර්ෂාව ඊට හේතු වුනා. මීට පෙර පැවති තරගය Mumbai Indians විසින් ජයගෙන තිබීම නිසා Royal Challengers කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීමට නම් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුනේ Gujarat නායක Hardik Pandyaයි. වර්ෂාවකින් පසු ඇරඹෙන බොහෝ තරගවල දී සිදු කරන අයුරින්ම මුලින් පිත්ත හැසිරවීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කිරීමට ඔහු තීරණය කළා. ඒ අනුව Bangalore වෙනුවෙන් ඉනිම ඇරඹුවේ මෙවර IPL තරගාවලියේ භයානකම ආරම්භක පිතිකරණ යුගලයක් වන Faf Du Plessis සමඟින් Virat Kohliයි.

සුපුරුදු පරිදි ඔවුන් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එකතු කළේ පළමු කඩුල්ලට ලකුණු 67ක් එකතු කරමින්. ඉන් අනතුරුව කඩුල්ලට ඈතින් ඇදී ගිය දුර්වල පන්දුවක් මගින් වුවත් ලකුණු 28ක් ලබා සිටි Plessis දවා ගැනීමට Noor Ahmed වාසනාවන්ත වුනා. ඉන්පසු භයානක ලෙස කඩුල්ල තුලට දඟ කැවුණු පන්දුවකින් Glenn Maxwellව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට Rashid Khanට හැකි වුනා.

Mahipal Lomror රැස්කළේ එක ලකුණක් පමණයි. මේ අනුව RCB ඉනිම ක්ෂණයකින් ලකුණු 85ට කඩුලු 3ක් බවට පත්වුනත් ඉනිමේ අවසන් කොටසේ දී Michael Bracewell සහ Anuj Rawat ලබා දුන් දායකත්වය නිසා Bangalore කණ්ඩායමට ලකුණු 197ක සටන්කාමී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට හැකි වුනා. වනිඳු වෙනුවට කණ්ඩායමට එක්වුනු Bracewell පන්දු 16කින් ලකුණු 26ක් රැස් කරද්දී, Anuj Rawat ලකුණු 23ක් ලබා ගත්තා.

අවසන් පන්දුවාරයේ පළවෙනි පන්දුවෙන් තම ශතකය සම්පූර්ණ කරන්නට Kohli සමත් වූ අතර මෙය ඔහු IPL තරගාවලිවල දී ලබා ගත් සත්වැනි ශතකය ද වෙනවා. පන්දු 61කට මුහුණ දුන් Kohli එහි දී නොදැවී ලකුණු 101ක් ලබා ගත්තේ හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී තම දක්ෂතාව නැවත වරක් පෙන්නුම් කළ Rashid Khan තම පන්දුවාර 4 ලකුණු 24කට නිමා කළා.

ලකුණු 200කට ආසන්න අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Gujarat Titans කණ්ඩායමේ මුල් කඩුල්ල ලකුණු 25 දී බිඳ දැමීමට Mohommed Siraj සමත් වුනා. ඒ කවර් කලාපයේ සිට Wayne Parnell විදුලි වේගයෙන් ගුවනට පැන තනි අතින් රැකගත් විශිෂ්ට උඩපන්දුවක උදව්වෙන්. මෙය තරගාවලියේ හොඳම උඩපන්දු කිහිපය අතරින් එකක් ලෙස අවිවාදයෙන්ම නම් කළ හැකි.

කෙසේ වෙතත් Wriddhiman Sahaගේ දැවී යාමෙන් පසු ලකුණු 123ක තරග දිනවන සබඳතාවයක් ගොඩ නැගීමට Shubman Gill සහ Vijay Shankar සමත් වුනා. ඒ අවශ්‍ය කරන ලකුණු වේගය ද මැනවින් පවත්වා ගනිමින්. තමන්ට ලැබුණු අවස්ථා කිහිපයේ දී පිතිකරණයේ තම නිසඟ හැකියාව ප්‍රදර්ශනය කළ Shankar ඊයේත් අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 35කට පමණක් මුහුණ දෙමිනුයි. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 2කින් හැඩවුනා.

ඩීප් මිඩ්-විකට් කලාපයේ නොසෙල්වී සිට Kohli රැකගත් උඩපන්දුවක් හමුවේ Shankar දැවී යාමත් සමඟ ඉතිරි ලකුණු ප්‍රමාණය ලබා ගැන සඳහා ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ගැන විශ්වාසය තබන්නට Gujarat Titans පියවර ගත්තා. නමුත් ඊට සාධාරණයක් ඉටු කරන්නට ශානකට හැකි වුනේ නැහැ.

තමන් වෙත ලැබුණු වේගය අඩාල කළ පන්දුවකට හයේ පහරක් බලාපොරොත්තුවෙන් ශානක එල්ල කළ පහර Prabhudessai පහසුවෙන්ම රැක ගත්තේ ඔහුව ලකුණු 0කට ක්‍රීඩාගාරයට හරවා යවමින්. David Miller ඊයේ ශානකගේ අඩිපාරේම ආපසු ක්‍රීඩාගාරයට පියමං කළේ ලකුණු 6කටයි. නමුත් එක් අන්තයකින් කඩුලු බිඳ වැටීම ගැටලුවක් කර නොගත් Shubman Gill විශිෂ්ට ශතකයක් සමඟින් Gujarat කණ්ඩායම ජය කණුව වෙත ගෙන ගියා.

ඉතාම දුර්වල පන්දු යැවීමක යෙදුණු Wayne Parnellගේ අවසන් පන්දුවාරයට අවශ්‍ය වූ ලකුණු 8, Shubman Gill පළමු නීත්‍යානුකූල පන්දුවෙන්ම සපුරා ගත්තේ තම ශතකය ද සම්පූර්ණ කරමිනුයි. පන්දු 52කට මුහුණ දුන් Gill එහි දී නොදැවී ලකුණු 104ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් සහිතවයි.

එතරම් දීර්ඝ ඉතිහාසයක් නොමැති Gujarat Titans වෙනුවෙන් පළවෙනි, දෙවැනි සහ තුන්වැනි පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යා ලබාගෙන තිබෙන්නේ Shubman Gill විසිනුයි!

Royal Challengers Bangalore – කඩුලු 5ක් දැවී ලකුණු 197 (පන්දුවාර 20): Virat Kohli 101*, Faf Du Plessis 28, Michael Bracewell 26, Anuj Rawat 23*, Noor Ahmed 2/39, Rashid Khan 1/24, Mohommed Shami 1/39.

Gujarat Titans – කඩුලු 4ක් දැවී ලකුණු 198 (පන්දුවාර 20): Shubman Gill 104*, Vijay Shankar 53, Wriddhiman Saha 12, Mohommed Siraj 2/32, Harshal Patel 1/29, Vijaykumar Vyshak 1/40.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වුනේ විශිෂ්ට ශතකයක් සමඟින් තරග ජයග්‍රහණයට ප්‍රබලම දායකත්වය දැක්වූ Shubman Gillටයි. මේ සමඟ තරගකාරීත්වය තවත් ඉහළ නංවන Play offs වටයේ තරග ලබන අඟහරුවාදා (23) ඇරඹෙන අතර මුලින්ම තරග වදින්නේ ලකුණු සටහනේ ඉහළින්ම සිටින Gujarat Titans සහ Chennai Super Kings කණ්ඩායමයි.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම කෙලින්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට 24 වැනිදා Lucknow Super Giants සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ නැවත වරක් වාසනාව උරගා බැලීමට අවස්ථාව හිමිවනු ඇති.

Indian Premiere League තරගාවලියේ ඉතිරිව ඇති උණුසුම් තරග 4ම සජීවීව දැකබලා ගැනීමට ඔබට ThePapare.com වෙබ් අඩවියෙන් අවස්ථාව උදාකර දී තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<