මල්ෂ, තරංග, විනුෂ්ක සහ සොනාල්ගෙන් වැඩි දස්කම්

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

667
SLC Major Clubs T20 Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භය ඊයේ (27) සිදු වුනා. එහි පැවති තරගවල දී NCC, හලාවත මේරියන්ස්, මුවර්ස් සහ CCC යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා.

යුද හමුදාව සහ හලාවත මේරියන්ස්

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගය කඩුලු 4කින් ජයගන්නට මේරියන්ස් සමත් වුනා. මේරියන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් යුද හමුදාව වෙනුවෙන් පැතුම් කුමාර සහ නායක තිසර පෙරේරා පිළිවෙළින් ලකුණු 45ක් සහ ලකුණු 41ක් ලබාගෙන දස්කම් දැක්වූවා. අවසානයේ දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.

මේරියන්ස් වෙනුවෙන් සුපුන් කාවින්ද සහ චමෝද් සඳරු කඩුලු 3 බැගින් දවාගනිමින් දස්කම් දැක්වූවා.

NCC සහ පානදුර ක්‍රීඩා සමාජය

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ දී පළමුව පන්දුවට පහරදුන්  NCC කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තා. එහි දී උපුල් තරංග පන්දු 58ක් තුල ලකුණු 89ක් ලබාගත්තේ NCC ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් ද වෙමින්.

පිළිතුරු ඉනිම දියත් කළ පානදුර ක්‍රීඩකයින් වෙනුවෙන් සුකිත මනෝජ් සහ සිනෙත් ජයවර්ධන ලකුණු 40 සීමාව ඉක්මවා ගිය නමුත් සියල්ලන්ම දැවී ඔවුන්ට ලබා ගන්නට හැකි වුණේ ලකුණු 134ක් පමණයි.

CCC සහ ගාල්ල ක්‍රිකට් සමාජය

දිනයේ වාර්තා වුනු දැවැන්තම ජයග්‍රහණය සඳහා හිමිකම් කියනු ලැබුවේ කොළඹ ක්‍රිකට් සමාජ (CCC) කණ්ඩායමයි. එහි දී ගාල්ල ක්‍රිකට් සමාජය ඔවුන් හමුවේ පරාජයට පත් වුනා.

මග්ගොන දී පැවැත්වුණු මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් CCC ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. එහි දී CCC ලකුණු සටහනට අර්ධ ශතක දෙකක් එක් කරන්නට විනුෂ්ක සිල්වා සහ සොනාල් දිනූෂ සමත් වුනා. පන්දු යැවීමේ දී තරින්ද ගුරුගේ කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ගාල්ල කණ්ඩායමට ලකුණු 175ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට තිබුණු නමුත් එහි දී ඔවුන්ට ලබා ගන්නට හැකි වුනේ ලකුණු 66ක් පමණයි. පන්දු යැවීමේ දී සඳුන් මෙන්ඩිස් සහ පිතිකරණයෙන් දස්කම් දැක්වූ සොනාල් දිනූෂ කඩුලු 3 බැගින් දවා ගත්තා.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගන්නට මුවර්ස් ක්‍රීඩකයින් සමත් වුනා.

එහි දී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයින්ගේ ඉනිම ලකුණු 89කට සීමා කරන්නට කඩුලු 4ක් දවා ගත් මල්ෂා තරුපති ඇතුළු මුවර්ස් පන්දු යවන්නන් සමත් වුනා. මුවර්ස් වෙනුවෙන් සොහාන් ද ලිවේරා පන්දු 20ක් තුල ලකුණු 46ක් ලබාගෙන පන්දුවාර 11කුත් පන්දු 2ක් තුල මුවර්ස් ජය තහවුරු කළා.

ලකුණු සාරාංශයන්

යුද හමුදාව – 143/7 (20): පැතුම් කුමාර 45, තිසර පෙරේරා 41, නිපුන් ප්‍රේමරත්න 2/23, කවිඳු නිර්මාණ 2/25

හලාවත මේරියන්ස් – 149/6 (19): සුපුන් කාවින්ද 36, චමෝද් සඳරු 35, කෞමාල් නානායක්කාර 2/19, ලක්ෂාන් එදිරිසිංහ 2/22

හලාවත මේරියන්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

NCC – 182/4 (20): උපුල් තරංග 89, තවීෂ අභිෂේක් 46, අහන් වික්‍රමසිංහ 19*, යෂාන් අවිශ්ක 1/18

පානදුර ක්‍රීඩා සමාජය – 134 (19.4): සුකිත මනෝජ් 43, සිනෙත් ජයවර්ධන 42, අශෙල් සිගේරා 3/08, චාමික ගුණසේකර 2/26

NCC කණ්ඩායමට ලකුණු 48ක ජයක්

CCC – 173/7 (20): විනුෂ්ක සිල්වා 78, සොනාල් දිනූශ 51*, තරින්ද ගුරුගේ 3/21, දමිත් රත්නායක 2/24

ගාල්ල ක්‍රිකට් සමාජය – 66 (13.4): ඕෂද ප්‍රනාන්දු 18, සොනාල් දිනූශ 3/06, සඳුන් මෙන්ඩිස් 3/06, නුවන් තුෂාර 2/14

CCC කණ්ඩායමට ලකුණු 107ක ජයක්

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය – 89 (17.3): හරිඳු ජයස්කෙර 32, මල්ෂ තරුපති 4/12, ලහිරු සමරකෝන් 2/09, තිරාන් ලොරොන්සුහේවා 1/10

මුවර්ස් ක්‍රීඩා සමාජය – 90/2 (11.2): සොහාන් ද ලිවේරා 46, දිනුක ඩිල්ශාන් 27*, නිසල ආක්ෂ්1/7, යොහාන් සුරේෂ් 1/17

මුවර්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<