ආසියානු කුසලානය ගැන තීරණය මැයි 28 වැනිදා

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

1359
Asia Cup fate likely to be decided on May 28

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානය ඉදිරිපත් කළ දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්වෙන බවට පාකිස්තාන මාධ්‍ය වාර්තා කළත්, ඒ පිළිබඳව තීරණය ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය අතරතුර ප්‍රකාශ කරන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනවල නිලධාරීන්ට ආරාධනා කර ඇති අතර එහි දී සිදු වන සාකච්ඡා වලින් පසුව IPL අවසන් තරගය පැවැත්වෙන මැයි 28 වැනිදා තරගාවලිය ගැන විශේෂ නිවේදනයක් සිදු කරන ඇති බව සඳහන්.

“බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නියෝජනය කරන නිලධාරීන් මැයි 28 වැනිදා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතයි. 2023 ආසියානු කුසලානයට අදාළ දේවල් ගැන අපි එහි දී ඔවුන් සමඟ සාකච්ඡා කරනවා,” යැයි ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah ප්‍රකාශ කළා.

පසුගිය දින කිහිපය තුළ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව යම් එකඟතාවකට පැමිණ තිබෙන බව වාර්තා වන නමුත් තරගාවලියට යොදා ගන්නා දෙවැනි රට ශ්‍රී ලංකාව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද යන්න තවමත් තීරණය කර නැහැ.

කොරෝනා සමයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ ආසියා කුසලානය ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙවැනි රට ලෙස තෝරා ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වෙනවා.

මෙවර ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගී වන තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වා අනෙක් තරග පාකිස්තානයේ පැවැත්වීම පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ගේ යෝජනාව වෙනවා.

ඒ අනුව පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට සිදු වන්නේ අඩු තරග ගණනක් වන අතර දෙවැනි සත්කාරක රට තෝරා ගැනීමට සඳහා මැයි 28 වැනිදා පැවැත්වෙන හමුව ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල ඇති අධික උණුසුම් කාලගුණ තත්වය නිසා තරග එහි ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මීට පෙර සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණා.

නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි සැලසුම් කරන්නේ.

මෙම ආසියානු කුසලානය පිළිබඳ ඇති කරගන්නා සම්මුතිය නිසා ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සම්බන්ධයෙන් ඇති වන ගැටලු ද විසඳා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

පාකිස්තානය ලෝක කුසලානයට සහභාගී වීම ආසියානු කුසලානය සම්බන්ධ තීරණය මත රඳා පවතින නිසා 28 වැනිදා ගන්නා තීරණය වඩා හොඳ සම්බන්ධතා ගොඩ නගා ගැනීමට මඟ පාදනවා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<