නැවතත් ටෙස්ට් පිටියට ආ විගස ම වනිඳුට තරග තහනමක්!

Bangladesh Tour of Sri Lanka 2024

68

ටෙස්ට් ක්‍රීඩාවට සමු දීමේ තීරණය ආපසු වෙනස් කරමින් නැවතත් ටෙස්ට් පිටියට අවතීර්ණ වීමට තීරණය කළ වනිඳු හසරංග හට තරග තහනමක් පැනවී තිබෙනවා.

පසුගිය වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දුන් වනිඳු හසරංග ඊයේ (18) දිනයේ දී සිය සමුගැනීමේ තීරණය වෙනස් කිරීමට පියවර ගත් අතර, ඊයේ ම ඔහුව බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ද ඇතුළත් කළා.

නමුත් ඊයේ බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තෙවන එක්දින තරගයේ දී ICC චර්යාධර්ම කඩ කිරීමේ වරදකට වනිඳු හට තරග තහනමක් පැනවී ඇති අතර, ඒ අනුව ඔහුට බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ට සහභාගී වීමේ අවස්ථාවක් හිමි නොවනු ඇති.

ඊයේ තරගයේ දී වනිඳු විසින් යොමු කළ බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේ දී විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීමේ සිදුවීමටයි වනිඳුට මෙසේ දඬුවම් හිමි වී තිබෙන්නේ.

ජාත්‍යන්තර තරගයක දී විනිසුරු තීරණයට විරෝධය ප්‍රකාශ කිරීම යන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය කඩ කිරීම වෙනුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කර ඇති අතර, දඬුවම් ලකුණු 3ක් ද ඔහුගේ වාර්තාවට එක් වී තිබෙනවා.

මේ අනුව මාස 24ක කාල සීමාව තුළ වනිඳුට එක් වී ඇති දඬුවම් ලකුණු ප්‍රමාණය 8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ අනුව එම ලකුණු ප්‍රමාණය තහනම් ලකුණු (Suspension Points) 4ක් බවට පරිවර්තනය වී තිබෙනවා.

මෙම ලකුණු හතර නිසා ඔහුට ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග හතරක් හෝ විස්සයි විස්ස තරග හතරක් තහනම් වන අතර, මෙහි දී ඔහුට පළමුව ක්‍රීඩා කිරීමට සිදු වන තරගවල දී එම තහනමට මුහුණ දීමට සිදු වනවා. ඒ අනුවයි ඔහුට බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම තහනම් වන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම ක්‍රීඩා පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<