මම දැන් ශක්තිමත්; Peleගෙන් රසිකයින්ට සුබ ආරංචියක්

FIFA world cup 2022

371
Brazil legend Pele is displayed on large banners near the crowd during the Qatar 2022 World Cup Group G football match between Cameroon and Brazil at the Lusail Stadium in Lusail, north of Doha on December 2, 2022. (Photo by Jewel SAMAD / AFP) (Photo by JEWEL SAMAD/AFP via Getty Images)

ශ්වසන ආසාදනයක් නිසා පසුගිය සතියේ රෝහල් ගත කළ බ්‍රසීල පාපන්දුවේ සුපිරි තරුව Pele දැන් සුව අතට හැරෙමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

මම දැන් ශක්තිමත්, බලාපොරොත්තු රැසක් එක්ක මම වෙනදා වගේ ම මගෙ ප්‍රතිකාර ලබා ගනිමින් ඉන්නවා.”

පසුගිය සෙනසුරාදා Instagram සටහනක් තබමින් තමන් සුවෙන් සිටින බව තම රසික ප්‍රජාවට පැවසූ Pele ධනාත්මකව සහ ඉවසීමෙන් බලා සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

මට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා, ඒ වගේම ඔබ සැමගෙන් ම ලැබෙන ආදරණීය පණිවුඩ මාව තවත් ශක්තිමත් කරනවා.”

පසුගිය සිකුරාදා Peleගේ වෛද්‍යවරයා විසින් පවසා සිටියේ තම රෝගියා සුවය ලබමින් සිටින බවත්, ඔහු ඉක්මනින් ම ස්ථාවර සෞඛ්‍ය තත්වයකට පැමිණෙනු ඇති බවත් ය.

ගිය සතිය ආරම්භයේ දී ඇති වූ හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ Peleට bronchopneumonia නම් රෝගී තත්වය ඇති බව ESPN Brazil මගින් වාර්තා කර තිබුණා.

එම රෝගී තත්වයේ දී ශ්වසන මාර්ග සංකෝචනය වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි අතර Pele විසින් මුහුණ දුන්නේ ද එම අසීරුතාවටයි.

Peleව පළමුව oncology ප්‍රතිකාර (පිළිකා සඳහා කරන ප්‍රතිකාරයක්) සඳහා රෝහල් ගත කර ඇති අතර පසුව මෙම රෝගී තත්වය ඇති වූ බව ඔහුගේ දියණිය Kely Nascimento පවසා තිබුණා.

Peleගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මෙම නවතම දත්ත ප්‍රකාශ කළේ, ඊට පැය කිහිපයකට පෙර බ්‍රසීල පුවත්පතක් විසින් පිළිකාවකින් පීඩා විඳින Pele තම ජීවිතයේ අවසාන අඩියේ පසු වන බවට පුවතක් පළ කිරීමෙන් අනතුරුවයි.

1958, 1962 සහ 1970 වසරවල පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායම්වල ප්‍රබලතම සාමාජිකයකු වූ Pele අදටත් බ්‍රසීලය වෙනුවෙන් ජාත්‍යන්තර තරගවල වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා (තරග 92ක දී ගෝල 77ක්) ද වනවා.

මේ දිනවල කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් රැස් වී සිටින ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද Peleගේ මෙම අසනීප තත්වය පිළිබඳ කනස්සලු වුනා.

මේ අතර Peleට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්,

“රජුන් වෙනුවෙන් යාච්ඤා කරන්න”

යනුවෙන් වත්මන් සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe විසින් පසුගිය සෙනසුරාදා Twitter සටහනක් තබා තිබුණා.

එමෙන්ම සෙනසුරාදා ම Doha’s Torch කුලුන ද Peleගේ විශාල ඡායාරූපයකින් සැරසී තිබුණේ ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනුයි.

තමන් සුවය ලබමින් සිටින බව සැල කළ Pele තම පණිවුඩය අවසානයේ මෙවර ලෝක කුසලානයට සහභාගී වන බ්‍රසීල කණ්ඩායම ද මතකයට නංවා තිබුණා.

“ඒ වගේම ලෝක කුසලානයේ දී බ්‍රසීලය දෙස බලා සිටිමු!”

බ්‍රසීල කණ්ඩායම ලෝක කුසලානයේ කණ්ඩායම් 16 තරග වටය වෙනුවෙන් අද ( 05) දකුණු කොරියාව මුණ ගැසීමට නියමිතයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Aljazeera ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<