වනිඳුගේ දස්කම් හමුවේ T10 කිරුළ Deccan Gladiatorsට

අබුඩාබි T10 තරගාවලිය 2021

47
Wanindu Hasaranga

ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන අබුඩාබි T10 තරගාවලියේ අවසන් තරගය ඊයේ (04) පැවැත්වුනා.

එහි දී අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නියෝජනය කරන Deccan Gladiators සහ Delhi Bulls තරග වැදුණා. එහි දී ලකුණු 56කින් Delhi Bulls පරාජය කිරීමට Deccan Gladiators සමත් වුනා.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණා. අබුඩාබි T10 තරගාවලියේ දෙවැනි අදියර ලෙස පැවති මෙවර තරගාවලියේ අවසන් මහා තරගය අබුඩාබි හි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

කාසියේ වාසිය Delhi Bulls කණ්ඩායම සතු වූ අතර ඔවුන් මුලින් පන්දු යැවීම තෝරාගත්තා. ඒ අනුව පිටියට පිවිසි Tom Kohler-Cadmore සහ Andre Russell ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුනා.

ඔවුන් සිය පන්දුවාර 5 තුල දී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වූ අතර කිසිදු කඩුල්ලක් ලබා දී තිබුණේ නැහැ. නියමිත පන්දුවාර 10 අවසානයේ දී Deccan Gladiators ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වුනා.

ප්‍රබල පිතිහරඹයක නිරත වූ Andre Russell පන්දු 32ක දී ලකුණු 90ක් ලබා ගත් අතර එයට දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් වුනා. ඔහුට අනගි සහයක් ලබා දුන් Tom Kohler-Cadmore පන්දු 28කින් ලකුණු 59ක් වාර්තා කළා.

අවසන් තරගයේ දී කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට Delhi Bulls පන්දු යවන්නන් සමත් නොවීම විශේෂත්වයක්.

ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Delhi Bulls නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 103ක් පමණයි.

පන්දු යැවීමේ දී ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු හසරංග ලකුණු 20කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. සිය කඩුලු මල්ලට එංගලන්ත නායකයා වන Eoin Morgan මෙන්ම Delhi Bulls ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Chandrapaul Hemraj ද එක්කර ගැනීමට ඔහු සමත් වුනා.

මෙවර T10 තරගාවලියේ තරග 12කට ක්‍රීඩා කළ වනිඳු හසරංග එහි දී කඩුලු 21ක් ලබා ගැනීමට සමත් වුනේ 9.29ක සාමාන්‍යයක් සටහන් කරමින්. ඔහු එහි දී කඩුලු 4 බැගින් ලබා ගත් අවස්ථාවක් සහ කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථාවක් වාර්තා කර තිබුණා.

Deccan Gladiators වෙනුවෙන් ඔහු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙසින් ද ඔහු නම් කෙරුණා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<