ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ගමන් මග පිළිබඳ නිවේදනයක්

Asian Games 2026

14

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක්  ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශයක් ඊයේ (21) දිනයේ දී මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. 

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ විසින් පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව (CTC), ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිවර්තන කිරීම සඳහා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමේ දී මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගති පිළිබඳ ව ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීම තම වගකීමක් ලෙස සලකයි. 

කමිටුව වෙත පැවරී ඇති වගකීම ප්‍රධාන කරුණු තුනක් මත් කේන්ද්‍රගත වේ. ඒවා නම්, යහපාලන ස්ථාපිත කිරීම, ක්‍රීඩා පිටියේ විශිෂ්ටත්වය ඉහළ නැංවීම සහ නැවත පත් වූ පරිපාලනය ස්ථාපිත වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වා ගෙන යෑමයි. 

ඒ අනුව, මෙම වගකීම් වලට මේ දක්වා සිදුකර ඇති කටයුතු සහ අත්කර ගෙන ඇති ප්‍රගති පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීමට පරිවර්තන කමිටුව අපේක්ෂා කරයි. 

යහපාලනය 

යහපාලනය ස්ථාපිත කිරීමේ අරමුණින්, පරිවර්තන කමිටුව පත්වී මාස දෙකක් වැනි කාලයක් තුළ නව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර එය රජයට භාර දී තිබේ. එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග මේ වන විට රජය විසින් ගනිමින් සිටී. 

ක්‍රිකට් ක්‍රීඩාවේ නීතී අවශ්‍යතා සහ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කර ඇති මෙම යෝජිත ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සංවර්ධන සඳහා ස්ථාවර සහ ශක්තිමත් පදනමක් සපයනු ඇතැයි කමිටුව විශ්වාස කරයි. 

මෙම යෝජිත ව්‍යවස්ථාව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලාංකික ජනතාව, ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් හි සියලු ප්‍රධාන පාර්ශ්ව කරුවන්ට පිළිගත හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. 

දේශීය ක්‍රීඩා සමාජ 

වර්තමාන අන්තර් සමාජ ප්‍රධානතම ටියර් ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14, ඉදිරි වසර දෙක තුළ 10 දක්වා අඩු කිරීමටත්, ටියර් ‘B’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12, එලෙස ම පවත්වා ගෙන යාමටත් ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණ කර තිබේ. 

ටියර් ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සිටින දක්ෂතම ක්‍රීඩකයන් ඉහළම මට්ටමේ දේශීය තරගාවලියට එක් කිරීම සහ එමගින් වඩාත් තරගකාරී ක්‍රිකට් වටපිටාවක් නිර්මාණය කිරීමයි. 

වඩාත් තරගකාරී ක්‍රිකට් ව්‍යූහයක් හරහා දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත ප්‍රමිති ඉහළ නැංවීමටත්, ජාතික කණ්ඩායම් සඳහා දක්ෂ ක්‍රීඩකයන් සපයන මාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි. 

තරගාවලි කාලසටහන් 

ටියර් ‘A’ කාණ්ඩයේ ලීග් තරගාවලිය දැනට ක්‍රියාත්මක වන දින තුනක ආකෘතිය වෙනුවට දින හතරක් පුරා පැවැත්වීමට ද ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණ කර තිබේ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතර ම ආකෘතිය ලෙස සැලකෙන ටෙස්ට් ක්‍රිකට් සඳහා ක්‍රීඩකයන් වඩාත් හොඳින් සූදානම් කිරීමට දින හතරක දේශීය තරගාවලියක් වැදගත් පියවරක් වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි. 

එමෙන්ම, ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් විවේක කාලයක් ලබා දෙමින් පැහැදිලි සහ විධිමත් දේශීය ක්‍රිකට් දින දර්ශනයක් සකස් කිරීම සඳහා ද පියවර ගෙන තිබේ. 

මෙමගින් ක්‍රීඩකයන්ට සිදු විය හැකි ආබාධ සහ අධික වෙහෙස හේතුවෙන් ක්‍රීඩකයන්ගේ අවදානම අවම කිරීමට හැකි වන අතර, ක්‍රීඩා සමාජ, පුහුණුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වවලට තම කටයුතු කල්තියා සැලසුම් කිරීමට ප්‍රමාණවත් කාලයක් හිමි වනු ඇත. 

අනාගත ජාතික කණ්ඩායම් නියෝජන සඳහා දක්ෂතා හඳුනා ගෙන සංවර්ධන කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පෝෂක මාර්ගයේ වැදගත් අංගයක් වන ශ්‍රී ලංකා පාසල් අතර ක්‍රිකට් තරගාවලි ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී. 

තණතීරු ප්‍රමිතිය ඉහළ නැංවීම 

රට පුරා ක්‍රිකට් තණතීරුවල ප්‍රමිති ඉහළ නැංවීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිටපු ප්‍රධාන තණතීරු භාරකරු ඇන්ඩි ඇට්කින්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ස්වාධීන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව පළපුරුදු ප්‍රධාන ජාතික තණතීරු සකසන්නකු බඳවා ගැනීමට පරිවර්තන කමිටුව කටයුතු කර තිබේ. 

මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල සේවා කරන සියලු ම තණතීරු සකසන්නන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෘජු සේවයට බඳවා ගෙන තිබේ. 

මෙමගින් තණතීරු සකස් කිරීමේ අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වඩාත් සෘජු කළමනාකරණ බලයක් හිමි වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා සංවර්ධන කිරීමේ පුළුල් දැක්මට අනුකූලව තණතීරු සකස්කිරීමටද හැකි වනු ඇත. 

පුහුණු කරණයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම 

දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරණ ව්‍යූහයන් හි ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ක්‍රිකට් පරිවර්තන කමිටුව මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. 

විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව නව දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් කණ්ඩායමක් පත් කර තිබේ. ගෝලීය ව පිළිගත් පුහුණුකරු සංවර්ධන විශේෂඥයකු වන ඇෂ්ලි රෝස් මහතාගේ සහභාගීත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ව්‍යූහය මෙන්ම සමස්ත පුහුණුකරණ පද්ධතිය ද, එහි පවතින පුහුණුකරණ කුසලතා ඇතුළුව, සමාලෝචන කිරීමට රෝස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහාය වෙමින් සිටී. අවශ්‍ය අවස්ථාවල දී කළ යුතු වෙනස්කම් සිදු කිරීම මෙහි අරමුණකි. 

දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෘජු සේවයට බඳවා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පියවර ගෙන තිබේ. එමගින් පුහුණුකරණ ක්‍රියාවලින් සහ ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වඩාත් සෘජු අධීක්ෂණයක් සහ වගවීමක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි වනු ඇත. 

විනිසුරු සහ තරග තීරක ප්‍රමිතීන් ඉහළ නැංවීම 

පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ සිට ජාතික මට්ටම දක්වා සියලු ම මට්ටම්වල විනිසුරු සහ තරග තීරක ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ද නව පියවර හඳුන්වා දී තිබේ. 

සෑම මට්ටමක දීම ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීමේ කමිටුවේ පුළුල් අරමුණ සමඟ මෙම වැඩපිළිවෙළ ද සමානුපාතවේ. 

මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, හිටපු ICC විනිසුරුවරයෙකු වන ලින්ඩන් හැනිබල් මහතා විනිසුරු සංවර්ධන කළමනාකරු ලෙසත්, හිටපු ICC විනිසුරුවරයෙකු වන රුචිර පල්ලියගුරුගේ මහතා විනිසුරු පුහුණුකරු ලෙසත් බඳවා ගෙන තිබේ. 

පාසල් අතර ක්‍රිකට්, ක්‍රීඩා සමාජ ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් යන ක්‍රිකට් ක්‍රීඩාවේ පෝෂක මාර්ගයේ ආරම්භයේ සිටම, විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ඇතුළු තරග නිලධාරීන්ගේ ප්‍රමිතීන් සංවර්ධන කිරීම සහ ඉහළ නැංවීම සඳහා ඔවුන් කටයුතු කරනු ඇත. 

ක්‍රීඩා වෛද්‍ය සහ ක්‍රීඩක සුබසාධන ප්‍රමිතීන් ඉහළ නැංවීම 

ක්‍රීඩක සත්කාර සහ ක්‍රීඩා වෛද්‍ය සේවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ සහ පසුව ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන භෞතචිකිත්සකවරයා ලෙස සේවය කළ ඇලෙක්ස් කොන්ටූරි මහතාගේ සහාය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය අංශය මේ වන විට ප්‍රතිසංවිධානය කරමින් පවතී. 

මීට අමතරව, ජාතික පිරිමි කණ්ඩායමේ මානසික කුසලතා සහ මනෝවිද්‍යාත්මක සූදානම ශක්තිමත් කිරීම සඳහා ක්‍රීඩා මනෝවෛද්‍යවරයෙකුද මෙම වැඩසටහනට එක් කර තිබේ. 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සංවර්ධන කිරීම සහ එහි ප්‍රතිරූප ඉහළ නැංවීම සඳහා ද ක්‍රිකට් පරිවර්තන කමිටුව පියවර ගෙන තිබේ. 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය සංවර්ධනයට සහාය වීම සහ සමස්ත කාන්තා ක්‍රිකට් වැඩසටහන ශක්තිමත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස, මාධ්‍ය සහ සන්නිවේදන කුසලතා සංවර්ධන ඇතුළු පුහුණු වැඩසටහන් ආරම්භ කර තිබේ. 

මෙහෙයුම් විධිමත් කිරීම සහ මූලය කළමනාකරණය 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ මූල්‍ය සම්පත් නිසි ලෙස විධිමත් ලෙස කළමනාකරණ කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබේ. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වාදී ඇත. 

ඒවා අතර එම ක්‍රියාමාර්ගයන් නම්, අත්‍යාවශ්‍ය නොවන නීතිමය කටයුතුවලින් ඉවත් වීම, අත්‍යවශය නොවන උපදේශකවරුන්ගේ සේවය අවසන් කිරීම, පැහැදිලිව නිර්වචනය කළ වගකීම් නොමැතිව පවත්වා ගෙන ගිය තනතුරු ඉවත් කරමින් සේවක ව්‍යූහය විධිමත් කිරීම සහ අධික ලෙස විශාල වී තිබූ පුහුණුකරණ ව්‍යූහය ‍ප්‍රතිව්‍යූහගත කිරීම ඇතුළත් වේ. 

මෙම පියවර මගින් මූල්‍ය භාවිතය විධිමත් කිරීමටත්, ක්‍රීඩක සංවර්ධන සහ ක්‍රිකට් තිරසර පහසුකම් සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන යොමු කිරීමටත් හැකි වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි. 

සහන සැලසීම 

පෙර පරිපාලන සමයන්හිදී අසාධාරණ ලෙස දඬුවම් හෝ අවාසිවලට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට සහ ක්‍රීඩා සමාජවලට සහන සැලසීම සඳහා ද කමිටුව පියවර ගෙන තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි සේවකයන්, සාමාජික ක්‍රීඩා සමාජ සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධ ශක්තිමත් කිරීම සහ විශ්වාසය ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. 

සමාප්ති සටහන 

මෙතෙක් ක්‍රියාත්මක කර ඇති පියවර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පරිවර්තන කිරීමේ මෙන්ම සෑම මට්ටමක දීම ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධන කිරීම සඳහා අවශ්‍ය ව්‍යූහයන් ගොඩනැගීමේ වැදගත් පියවරන් බව ක්‍රිකට් පරිවර්තන කමිටුව විශ්වාස කරයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක මට්ටමේ සන්නාමයක් බවට පත් කිරීම, සහ එහි ස්ථානය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කිරීම කමිටුවේ අරමුණයි. 

පරිවර්තන ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරන විට එහි අපේක්ෂිත ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා තවදුරටත් ගනු ලබන ක්‍රියාමාර්ග හඳුන්වා දෙනු ඇත. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිවිදභාවය පවත්වා ගෙන යෑමටත්, සිදු වෙමින් පවතින වර්ධනයන් පිළිබඳ ව මහජනතාව අඛණ්ඩව දැනුවත් කිරීමටත් කැපවී සිටියි. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<