Kandy Warriors කණ්ඩායමට නව හිමිකරුවෙක්

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3378

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර කේන්ද්‍ර කර ගත් Kandy Warriors කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස Vernost Marketing Technology Solutions හී ප්‍රධාන විධායක නිලධාරි Pankaj Tripathi මහතා එක්ව ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබුණා.

ඒ අනුව ඔහු Safexpay හී නිර්මාතෘ සහ ප්‍රධානී Ravi Gupta සමඟ සම හිමිකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත අතර පසුගිය තරග වාරයේ දී Kandy Tuskers නාමයෙන් ක්‍රීඩා කළ මෙම කණ්ඩායම නව හිමිකරුවෙකු ලබා ගැනීමෙන් පසු Kandy Warriors ලෙස වෙනස් කිරීමට ද මීට පෙර කටයුතු කළා.

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සම හිමිකරුවෙකු වීමට ලැබීම පිළිබඳව අදහස් දක්වමින් Pankaj Tripathi මහතා ප්‍රකාශ කර සිටියේ,

“Kandy Warriors කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොටස් කරුවෙකු වෙන්න ලැබුණු එක ගැන මම සතුටු වෙනවා.

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමුව ඇති අතර එහි ඉදිරි අදියර සඳහා ද කොටස්කරුවෙකු ලෙස දායක වීමට අපිට අවශ්‍යයි. අපි ප්‍රේක්ෂකයන් සමඟ වීමට සහ උණුසුම් තරගාවලියක් සඳහා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.”

මෙම නව හිමිකරුවාගේ පැමිණීම පිළිබඳව සිය අදහස් දක්වමින් ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අධීක්ෂණ කටයුතු සිදු කරන IPG ආයතනයේ ප්‍රධානී Anil Mohan ප්‍රකාශ කර සිටියේ, Kandy Warriors කණ්ඩායමේ නව හිමිකරුවන් පිළිගැනීමට ලැබීම විශාල ගෞරවයක් බවයි.

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් පසුගිය වසරේ ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ජෛව ආරක්ෂිත පරිසරයක පැවැත්වූ අතර එම තරගාවලිය මිලියන 557ක ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹා තිබීම විශේෂත්වයක්.

එම සාර්ථක පළමු අදියරෙන් පසු දෙවැනි අදියර මෙම වසරේ දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර එය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ද අවසර හිමිව තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<