මගේ සමුගැනීම අතරතුර මම ගොඩක් හැඟීම්බර වේවි – Mickey Arthur

1605

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ Mickey Arthur සිය පුහුණුකාර ධුරයට ඊයේ (03) දිනයේ නිල වශයෙන් සමුදුන්නා.

සිය පුහුණුකාරිත්වයෙන් පැවති අවසන් තරගය ජයග්‍රහණයකින් නිමා කිරීමට ඔහු සමත් වුනා. ඊයේ තරගයෙන් අනතුරුව මෙරට වසර දෙකක පුහුණුකාරීත්වය පිළිබඳව ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.

Mickey Arthur සිය පුහුණුකාරීත්වයට සමුදුන්නේ සුවිශේෂී තරගාවලියක් සමඟින්. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2-0ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවයට ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා. සිය අවසන් තරගාවලිය මෙලෙස ජයග්‍රහණයකින් නිමා කිරීම පිළිබඳව Mickey Arthur මෙලෙස අදහස් දක්වා සිටියා.

“මේක ඉතාමත් අපූරු ගමනක් වුනා. ඇත්තෙන්ම මේක ඉතාමත් අමාරු අවුරුදු දෙකක් වුනා. ඒත් මම අද පුහුණුකරු විදිහට සමුගන්නේ හැම ක්‍රීඩකයෙක්ම මම එද්දී හිටපු තත්වයට වඩා හොඳ තැනක ඉන්නවා දැකලා. මේක කොච්චර අමාරු කාලයක් වුනත් ඒක ලොකු තෑගි ගොඩක් ගේන්න සමත් වුනා. මම මේ කාලයේ ශ්‍රී ලංකාවේ ගත කරපු හැම විනාඩියකටම ආදරෙයි”, Mickey Arthur පවසා සිටියා.

පසුගිය තරගාවලි කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. ඒ පිළිබඳව ද Mickey Arthur අදහස් දක්වා සිටියා.

“මේ නවක ක්‍රීඩකයන් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන්. ඔවුන්ගේ හැකියාව විශිෂ්ටයි. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් ප්‍රබල ක්‍රීඩකයන් බවට පත්වේවි. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හොඳ දස්කම් දක්වන්න සමත් වුනා. විශේෂයෙන් දිමුත් කරුණාරත්න පසුගිය වසර තුළ ප්‍රබල දස්කම් දක්වන්න සමත් වුනා.

මම ඉතාමත් ආසාවෙන් මේ කණ්ඩායම් ගොඩනැගීම කළේ. මේ තරුණ ක්‍රීඩකයන්ට කණ්ඩායමට ඇවිල්ලා ඔවුන්ගේ නිදහස එක්ක ක්‍රීඩා කරන්න ලැබීම ඉතාමත් සතුටක්. අපි මුලින්ම මේ ක්‍රීඩකයන් හඳුනා ගෙන තේරීම් කමිටුව එක්ක ඔවුන්ට නිසි තැනක් ලබා දීලා ඔවුන්ට දස්කම් දක්වන්න අවස්ථාව ලබා දුන්න එකෙන් අපිට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් වුනා.

පුහුණුකරුවෙක් විදිහට ඊට වඩා සතුටක් නැහැ. මේ ක්‍රීඩකයන්ට නිසි මඟ පෙන්වීමක් ලබා දීලා, නිසි අවස්ථාවන් ලබා දුන්නොත් ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.”

ශ්‍රී ලංකාව සමඟින් කටයුතු කළ වසර දෙකක කාලය තුළ ඔහු වඩාත්ම ප්‍රිය කරන මතකය පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා.

“විශේෂ මතකය වෙන්නේ මේ ක්‍රීඩකයන් දියුණු වෙනවා දකින්න පුළුවන් වුන එක. දිමුත් කරුණාරත්න ලෝකයේ අංක 7 ක්‍රීඩකයා විදිහට සාර්ථක වුන එක, අපේ තරුණ ක්‍රීඩකයන් ඉස්සරහට එනවා දකින්න පුළුවන් වුන එක, එක්දින කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් බවට පත්වුන එක, වනිඳු හසරංග, චරිත් අසලංක, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා වගේ ක්‍රීඩකයන් දස්කම් අතරට එනවා දැකපු එක. මට ගොඩක් ක්‍රීඩකයන් කියන්න පුළුවන්.

පසුගිය කාලය තුළ කණ්ඩායමේ ලොකු වෙනසක් අපි දැක්කා. පසුගිය අවුරුදු දෙක ගත්තොත් මම වසර දෙකකින් ඕස්ට්‍රේලියාවට ගිහින් නැහැ. මම මගේ දුවව දැකලා නැහැ 2019 වසරේ නොවැම්බර් ඉඳන්. ඒත් ඒ හැමදේම මේ ගමනේ කොටසක්.

මේ කාලය තුළ ක්‍රීඩකයන්ට උදව් කරන්න පුළුවන් වුනා. අපි ඉතාමත් අමාරු කාලයක් ගත කළේ. ජෛව බුබුලක ඉඳන් තවත් ජෛව බුබුලකට ගියා. මේ ක්‍රීඩකයන් ඔවුන්ගේ හැකියාවන්, මානසිකත්වය පාලනය කරපු හැටි ඉතාමත් වටිනවා. මම ලංකාවෙන් යන්නේ මතක ගොඩක් එක්ක.”  

ඊයේ නිමා වූ කොදෙව් ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 164කින්. මෙම තරගය පිළිබඳව ද Mickey Arthur අදහස් දක්වා සිටියා.

“මේ තරගය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් තිබ්බේ. පළවෙනි දවස අවසානයේ අපි හිතුවා අපි ඉදිරියෙන් ඉන්නවා කියලා. දෙවැනි දවසේ දී ඔවුන් පෙරමුණ ගත්තා. අපි දැනගෙන හිටියා කඩුලු ලබා ගන්න අමාරුයි කියලා. ස්ථාවර වුනොත් දිගටම ලකුණු ලබා ගන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියා.

පළවෙනි ඉනිමේ දී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවාර කිහිපය අපිව තරගයට ගේන්න සමත් වුනා. ඊට පස්සේ ධනංජය ද සිල්වා අතිවිශිෂ්‍ට ඉනිමක් ක්‍රීඩා කළා. මේ වගේ අමාරු තණතීරුවක ඔහු පහසුවෙන් ක්‍රීඩා කළා. ඔහුගේ දස්කම් අපිට පෙන්නුවා. ඒක තමයි මේ තරගයේ හැරවුම් ලක්ෂය වුනේ.

අපි දැනගෙන හිටියා ලකුණු 250ක ඉලක්කයකින් පස්සේ අපේ පන්දු යවන්නන් ඔවුන්ගේ වගකීම ඉටු කරාවි කියලා. ධනංජයගේ ඉනිම ඉතාමත් විශිෂ්‍ටයි. ඔහුට ඒක කරන්න පුළුවන් වුනේ ලසිත් ඇඹුල්දෙණියගේ සහයෝගය එක්ක. රමේශ්ගේ පන්දු යැවීම තරගය වෙනස් කරන්න සමත් වුනා.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තබා ගත හැකි නවක ක්‍රීඩකයන් පිළිබඳව ද Mickey Arthur මෙලෙස අදහස් දක්වා සිටියා.

“මම හිතන්නේ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. අපි හැමවෙලේම උත්සාහ කළේ කණ්ඩායමේ ගැඹුරක් හදන්න. අපි ලොකු සංචිත එක්ක සංචාරය කළේ. මම දැක්කා චාමික ගුණසේකර සහ ලහිරු මධුශංක ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන්.

මේ තරගයේ දඟපන්දු යවන්නන් තුන්දෙනාට අමතරව සඳකැන්, වනිඳු සහ මහීශ් එක්දින සහ විස්සයි විස්ස තරගවලට ඉන්නවා. මම ලංකාවට එද්දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විදිහට දිමුත්, ඇන්ජලෝ සහ චන්දිමාල් හිටියා, ඒත් අපිට නවක ක්‍රීඩකයන් හිටියේ නැහැ. ඒක තමයි තිබුණ ලොකුම අභියෝගය.

රට වහලා තිබුණ කාලේ අපි උත්සාහ කළේ තරුණ පිතිකරුවන් හොයාගන්න. ඊට පස්සේ අපිට පැතුම් නිස්සංක සහ චරිත් අසලංක හමුවුනා. දැන් ටෙස්ට් සහ එක්දින රටාවේ පිතිකරණය සුරක්ෂිත වෙලා තියෙනවා. අපි කතා කළේ නැහැ අවිශ්ක, කුසල් මෙන්ඩිස්, ධනුශ්ක සහ දික්වැල්ල ගැන. ඔවුන් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන්. අපිට අවුරුදු දෙකකට කලින් තිබුනේ නැති තැන් ගොඩක් හැදිලා තියෙනවා.”  

සිය අදහස් දැක්වීමේ දී තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල පිළිබඳව ද Mickey Arthur අදහස් දක්වා සිටියා.

“මම ඔවුන්ට ඉන්දීය සංචාරයේ දී කිව්වා සමාජ මාධ්‍ය ඉතාමත් අහිතකරයි කියලා. ඔවුන්ට ඉතාමත් ලොකු රසිකයන් පිරිසක් ඉන්නවා. පාකිස්තානයේ සහ ඉන්දියාවේ හොඳින් දස්කම් දැක්වුවාම ලොකු රසිකයන් පිරිසක් හැදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් අසාර්ථක වුනොත් ඒ හැමදේම විනාශ වෙනවා.

අපි කණ්ඩායම ඇතුළේ විනය සහ හැසිරීම හොඳින් පවත්වා ගන්න, සංස්කෘතියක් හදන්න උත්සාහ කළා. ක්‍රීඩකයන් හඳුනා ගත්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට අපි බලාපොරොත්තු වෙන හැසිරීම මොන වගේ එකක් ද කියලා.

අපි ඔවුන්ට ඒක උගන්වන්න උත්සාහ කළා. අද මගේ සමුගැනීම අතරතුර මම ගොඩක් හැඟීම්බර වේවි. මොකද කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් ඉතාමත් සුවිශේෂී ක්‍රීඩකයන්. මම කුසල්ට, ධනුශ්කට සහ දික්වැල්ලට කියන්නේ ප්‍රශ්නවලින් ඈත් වෙලා ඉන්න. තමන්ගේ වගකීම් අරමුණු කරගන්න. ඔවුන්ට ඉතාමත් ලොකු අනාගතයක් තියෙනවා”, Mickey Arthur අවසන් වශයෙන් පවසා සිටියා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<