ජයග්‍රහණය කළ හැකි තණතිල්ලක අවශ්‍යතාව මතු කරන බංග්ලාදේශය

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

227

මේ මස 29 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිත බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය සඳහා තරගකාරී, ප්‍රතිඵලයක් ලබා ගත හැකි තණතීරුවක් සැකසීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන කළමණකාරු Khaled Mahamud ඊයේ (26) දිනයේ දී අවධාරණය කර සිටියේ දෙපිලටම හොඳ සටන්කාමී තරගයක් ලබා දීමට එය වැදගත් සාධකයක් විය හැකි බව පවසමිනි.

පළමු ටෙස්ට් තරගය සඳහා නිර්මාණය කළ තණතීරුව පිතිකරුවන් හට පාරාදීසයක් බවට පරිවර්තනය වූයේ දින පහක් පුරා ක්‍රියාත්මක වූ තරගය අවසානයේ ලකුණු 1289ක් රැස් කිරීමේ අවකාශය පිතිකරුවන් වෙත සලසා දෙමිනි. 

කොළ පැහැති තණතිල්ල වේගපන්දු යවන්නන් හට වඩා යෝග්‍ය වේ යැයි තරගයට පෙරාතුව අනුමාන කළ නමුත් තණතීරුවෙන් කිසිදු සහයෝගයක් වේගපන්දු යවන්නට නොලැබෙන්නට වූ නිසාවෙන් පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වීමට කණ්ඩායම් දෙකේම පන්දු යවන්නන් හට සිදු විය.

Mahamud මහතා මෙහි දී පෙන්වා දී සිටියේ පළමු තරගයට වඩා වෙනස් ස්වභාවයකින් යුතු තණතීරුවක් සකස් කිරීමට හැකි නම් කණ්ඩායම් දෙකටම මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමේ සම අවස්ථාවක් පවතින බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Mickey Arthur මහතා ද පිටිය සකස් කර ඇති ආකාරය සම්බන්ධයෙන් යම් නොසතුටකින් පසූ වූ අතර ඔහු පවසා සිටියේ ඔවුන් සකස් කළ සැලසුම් හරියාකාරව දියත් කිරීමට නොහැකි වූයේ තණතීරුවෙන් අපේක්ෂා කළ සහයෝගය නොලැබී ගිය නිසාවෙන් බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

“මේක තමයි පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ මගේ පළමු අත්දැකීම. අපිට අවශ්‍ය කරලා තිබුණේ වේගපන්දු යවන්නන්ට උචිත, වේගය සහ ඉපිලීම දෙකම තියෙන සමබර තණතීරුවක්. නමුත් අපිට ක්‍රීඩා කරන කොට තේරුණා අපිට ලැබිලා තියෙන්නේ හාත්පසින්ම වෙනස්, බලාපොරොත්තු නොවුනු සැකැස්මක් කියලා. අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා වගේම දෙවන ටෙස්ට් තරගයට මීට වඩා වෙනස් උපායමාර්ගයන් එක්ක අවතීර්ණ වෙන්න අපි උත්සාහ කරනවා.”

Khaled Mahmud මහතා ද ඉහත ප්‍රකශ සනාථ කරමින් සඳහන් කර සිටියේ කණ්ඩායම් දෙකටම හොඳ තරගයක් ලබා දිය හැකි, පිතිකරණ සහ පන්දු යැවීමේ අංශ දෙකටම ඔවුන්ගේ දායකත්වය ලබා දිය හැකි ආකාරයේ සමබර තණතීරුවක් සකස් කිරීම අතිශය වැදගත් බවයි.

“පළමු තරගයේ දී ලැබුණ තණතීරුවේ ක්‍රීඩා කරලා ප්‍රතිඵලයක් අපේක්ෂා කරන්න අමාරුයි. පන්දු යවන්නන් ඉතාමත් හොඳින් ඔවුන්ගේ කාර්‍යභාර්‍ය ඉටු කරලත් ටෙස්ට් තරගය පුරාවටම ඔවුන්ට දවා ගන්න පුළුවන් වුනේ කඩුලු 20යි කියන්නේ එතන පොඩි ගැටලුවක් මතු වෙනවා.”

“අපි හෙට තණතිල්ල සකස් කරන ආකාරය නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. වේගපන්දු යවන්නන්ට හෝ දඟපන්දු යවන්නන්ට සහය වෙන ආකාරයෙන් පිටිය සකස් කිරීම ගැන අපිට ගැටලුවක් නැහැ, නමුත් කලින් වගේ සමතලා තණතීරුවක් ලැබෙන එකක් නැහැයි කියලා අපි හිතනවා.”

තවද අඛණ්ඩව ටෙස්ට් තරග 8ක් පරාජයට පත්වීමෙන් අනතුරුව තම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා අභියෝගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය හැකි බව පවසා සිටි Khaled මහතා පෙන්වා දී සිටියේ ඔවුන් ගොඩනඟා ගත් එම රිද්මය ඉදිරියේ දී ද පවත්වා ගනිමින් සෙසු කණ්ඩායම්වලට තර්ජනයක් විය හැකි අයුරින් ක්‍රීඩා කිරීම ප්‍රධානතම ඉලක්කය බවට පත්විය යුතු බවයි.

“මම හිතන්නේ නැහැ පළමු ටෙස්ට් තරගය අපි ක්‍රීඩා කළ ආකාරය දිහා බලලා අපේ කණ්ඩායම ප්‍රදර්ශනය කළ දක්ෂතා ගැන අවසන් නිගමනයකට ඒම සුදුසුයි කියලා. ඔවුන් ලබා ගත්ත මේ පන්නරය ඉදිරියට රැගෙන යා යුතුයි. මම හැමදාමත් ඔවුන්ගේ හැකියාවන් ගැන උපරිම විශ්වාසයෙන් ඉන්න කෙනෙක් මොකද මම දන්නවා ඔවුන්ට ක්‍රීඩාව තුල කළ හැකි දේවල් ගැන.”

“අපිට ඉදිරියට තව සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වෙනකොට අපි ටෙස්ට් කණ්ඩායමක් විදියට හොඳ ස්ථාවරයක සිටිය යුතුයි. ඉතිරි තරගය ඒ සඳහා හොඳ අවස්ථාවක් වේවි. ක්‍රීඩකයෝ හැමදෙනාම තමන්ට පැවරෙන රාජකාරිය හරියට ඉටු කළොත් අපිට තරග ජයග්‍රහණය කිරීම අපහසු කර්ත්‍යවයක් නෙමෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<