Rajasthan නවකයන්ට සංගාගෙන් පැසසුම්

IPL 2021

265

Punjab Kings සමඟින් පැවති තරගය පරාජය වුවද තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා විශිෂ්ට මට්ටමක තිබූ බව Rajasthan Royals ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුමාර් සංගක්කාර අධ්‍යක්ෂ ධූරය හොබවන Rajasthan Royals සහ Punjab Kings අතර තරගය ඊයේ (12) පැවැත්වුනා. වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා වූ තරගයක් වූ එම තරගයේ ජයග්‍රහණය හිමිවුනේ Punjab Kings කණ්ඩායමටයි.

ලකුණු 222ක් හඹා ගිය Rajasthan Royals කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Sanju Samson හට අනගි සහයක් ලබා දීමට මැදපෙළ පිතිකරුවෙකු වූ Riyan Parag සමත් වුනා. පන්දු 11ක් තුල වේගවත් ලකුණු 25ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වුනේ Rajasthan ලකුණු පුවරුවට ශක්තියක් වෙමින්. ඔහු Sanju Samson සමඟින් වේගවත් ලකුණු 52ක සම්බන්ධතාවයක් ද ගොඩනැඟීමට සමත් වුනා.

ඔහුගේ පිතිකරණය කුමාර් සංගක්කාරගේ පැසසුමට ලක්ව තිබුණා.

“ක්‍රිකට්වල දකින්න පුළුවන් සුවිශේෂී ක්‍රීඩකයෙක් තමයි Riyan Parag කියන්නේ. ඔහුගේ අතේ වේගය ඉතාමත් ඉහලයි. Mohammed Shami ඔහුගේ අත්දැකීම් එක්ක ලොකු අවදානමක් අරන් තමයි bouncer පන්දුව යොමු කළේ. ඒ පන්දුව නිවැරදිව හඳුනා ගන්න අමාරු වුනා. පන්දුව හරියට පිත්තේ වැදුණේ නැහැ. ඒ නිසා තමයි ඔහු දැවී ගියේ. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. අවදානමක් ගන්න කෙනාට තමයි යමක් ලැබෙන්නේ. මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා Riyan Parag නිදහසේ සෙල්ලම් කරනවා.” 

“ක්‍රීඩකයෙක් නිදහසේ සෙල්ලම් කරද්දී දැවී යන්න අවස්ථාවක් තියනවා. Sanju සහ ඔහු ඉතාමත් අගනා සම්බන්ධතාවයක් ගොඩනැගුවා. අපි තරගයට අවතීර්ණ වුනේ ඒ නිසා. ජයග්‍රහණය ළඟට යන්න පුළුවන් වුනේ ඒ නිසා කියලා මම හිතනවා. මම ගොඩක් සතුටට පත්වෙලා ඉන්නවා මේ ක්‍රීඩකයන් පෙන්වන කැපවීම සහ උනන්දුව නිසා” කුමාර් සංගක්කාර පවසා සිටියා.

Rajasthan Royals වෙනුවෙන් සිය පළමු තරගයට ක්‍රීඩා කළ 23 හැවිරිදි Chetan Sakariya ද තරගය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. Punjab Kings ඉනිම ආරම්භ කිරීමේ වගකීම මෙන්ම අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම ද හිමි වූයේ ඔහුටයි.

ඔහුට හිමි වූ වගකීම අකුරටම ඉටු කිරීමට Chetan Sakariya සමත් වුනේ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී කඩුලු 2ක් දවා ගනිමින්. ඔහු සිය පන්දු යැවීම නිමා කළේ ලකුණු 31ට කඩුලු 3ක් ලෙසින්. Rajasthan Royals පන්දු යවන්නන් අතරින් වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වූයේ ද ඔහුයි. 

Powerplay පන්දුවාර 6 තුල දී Sakariya පන්දුවාර 2ක් ක්‍රියාත්මක කළ අතර එහි දී Punjab Kings ආරම්භක පිතිකරුවා වූ Mayank Agrawalගේ කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් වුනා. අවසන් පන්දුවාරයේ දී ඔහු ලබා දුන්නේ ලකුණු 5ක් පමණයි.

තවත් ක්‍රිකට් පුවත්: 

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී Chetan Sakariya Rajasthan කණ්ඩායමේ නිත්‍ය අවසන් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරනු ඇත්දැයි මාධ්‍යවේදීන් සංගක්කාරගෙන් විමසා සිටියා.

“ඔව් ඒ ගැන සැකයක් නැහැ. මම හිතන්නේ ඔහු ඉතාමත් දක්ෂ පන්දු යවන්නෙක්. ඔහුගේ හැකියාවන් අපි තරගයේ දී දැක්කා. නවක පන්දු යවන්නෙක් විදිහට මේ වගේ ලකුණු විශාල සංඛ්‍යාවක් වාර්තා වුන තරගයක ඔහුගේ පන්දු යැවීම විශ්මිතයි. ඔහු හැමවෙලේම හිනා වෙලා ක්‍රීඩා කරන කෙනෙක්. ඒ ඔහුගේ හැටි. හැමවෙලේම තරගයට අවධානය යොමු කරලා ඉන්න කෙනෙක්. ඔහු ලබා ගත් උඩපන්දුවත් ඉතාමත් දක්ෂ උඩපන්දුවක්. අලුත් පන්දුවෙන් වගේම අවසන් පන්දුවාරවල දීත් ඔහු දක්ෂ ලෙස ක්‍රීඩා කළා. අනෙක් පන්දු යවන්නන් ගත්තම Punjab ක්‍රීඩකයන් දිගින් දිගටම පහර දුන්නා. ඒත් Sakariya දක්ෂ පන්දු යැවීමක් පෙන්වුවා.” 

“ඔහු සරල ක්‍රීඩකයෙක්. ඔහු ආසාවෙන් සෙල්ලම් කරන්නේ. අපි ඔහුට උදව් කරන්න ඕනේ. පන්දු පාලනය කරන්න ඔහුට තියන දක්ෂතාවය ඉතාමත් ඉහලයි. ඔහුට දීප්තිමත් අනාගතයක් තියනවා.”

තරගයේ අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී එක් ලකුණක් සඳහා පැති මාරුකර ගැනීමට Chris Morris උත්සාහ කළ ද ඒ වන විට ශතකයක් වාර්තා කර සිටි Sanju Samson එය ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. මේ නිසා අවසන් පන්දුවේ දී ජයග්‍රහණය කිරීමට Rajasthan කණ්ඩායමට ලකුණු 6ක් අවශ්‍යව තිබුණා. මේ පිළිබඳව ද කුමාර් සංගක්කාර අදහස් දක්වා සිටියා.

“මම හිතන්නේ Sanjuට අවශ්‍ය වෙලා තිබුණේ ඒ අවදානම ගන්න. ඔහු දන්නවා ඔහුට පහරදෙන්න පුළුවන් කියලා. ඔහු හොඳ රිද්මයක හිටියේ. ඔහු ඒ අවදානම ගත්තේ ඒ නිසා. මම ගොඩක් සතුටු වෙනවා Sanju ඒ අවදානම ගත්ත එක ගැන.” 

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<