බිරිඳගෙන් මාස හයක් කල් ඉල්ලා ගත් මිස්බා

922

විස්සයි විස්ස තරග රටාව අද ලෝකයම ආක්‍රමණය කර අවසන්. විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඕස්ට්‍රේලියානු භූමියේ දී ආරම්භ වෙනවා.

ඉතින් අපි තීරණය කළා පොඩ්ඩක් මේ ලෝක කුසලානයේ යටගියාව ගැන මතකය ආපහු අලුත් කරන්න. මේ එහි දෙවන කොටසයි.

දිනය 2007 වසරේ සැප්තැම්බර් 24 වැනිදා. ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් තිබුණේ ඉන්දියානු කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර මංගල විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය.

ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් ගැටුමක් කියන්නේ අතිශයින්ම උද්වේගකර එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. මේකත් එහෙම අතිශයින්ම තියුණු තරගයක්.

එදා මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 157ක් රැස් කළා.

ලකුණු 158ක ඉලක්කය හඹා ගිය පාකිස්තානු කණ්ඩායමේ කඩුලු නිරන්තරයෙන්ම බිඳ වැටෙන්නට වුනා. පන්දුවාර 11.4ක් අවසානයේ ඔවුන්ගේ ලකුණු පුවරුව පෙන්නුම් කළේ කඩුලු හයකට ලකුණු 77ක් ලෙසයි. මොහොමඩ් හෆීස්, ඉම්රාන් නසීර්, කම්රාන් අක්මාල්, යුනිස් ඛාන්, ෂහීඩ් අෆ්රිඩි සහ නායක ෂොයිබ් මලික් ඒ වන විටත් සිටියේ ක්‍රීඩක විවේකාගාරයේ.

පාකිස්තානු ජයග්‍රහණයක බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් ඈත්ව යන විට එක්තරා පාකිස්තානු මැදපෙළ පිතිකරුවෙක් සියලු වගකීම් තම කර මතට ගන්නට තීරණය කළා.

අගපෙළ පිතිකරුවන් සමග සම්බන්ධතා ගොඩ නගමින් පාකිස්තානය ජය කණුව අසලට රැගෙන ආ මේ පිතිකරුවා ගේ නම මිස්බා උල්හක්.

තරගයේ අවසාන පන්දුවාරය එළඹෙන විට පාකිස්තානු ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 13ක්. නමුත් ඔවුන් සතුව තිබුණේ එකම එක කඩුල්ලක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් අවසාන පන්දුවාරය ක්‍රියාත්මක කළේ ජොගින්දර් ෂර්මා. පන්දුවට පහර දෙන අන්තයේ මිස්බා උල්හක්.

ජොගින්දර් යැවූ මුල්ම පන්දුව වයිඩ් පන්දුවක් පාකිස්තානු ජයග්‍රහණයට තවත් අවශ්‍ය ලකුණු 12ක් පමණයි. ඊළඟ පන්දුව පිතිකරුවා පරයා කෙළින්ම කඩුලු රකින්නා වෙත ඇදී ගියා.

දැන් පන්දු පහකට ලකුණු 12යි. ඊළඟ පන්දුව ෆුල්ටොස් පන්දුවක්. එය කෙළින්ම හයේ සීමාවෙන් ඔබ්බට යවන්නට මිස්බා සමත් වෙනවා.

දැන් ජයග්‍රහණයට පන්දු හතර දී ලකුණු 6යි. මේ වෙද්දී මිස්බාට පන්දුව පාපන්දුවක් තරම් විශාලව පේනවා.

ජොගින්දර් එවූ ඊළඟ පන්දුවට මිස්බා තමන්ගේ පිට ඉන්න පැත්තට ඇවිද ගොස් එල්ල කරන්නේ ස්කූප් පහරක්.

මිස්බාගේ සහ පාකිස්තානයේ අවාසනාවට පන්දුව කෙළින්ම ඉහළ නගිනවා. ෂෝට් ෆයින්ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ශාන්තකුමාරන් ශ්‍රීසාන්ත් උඩපන්දුව සුරැකිව රැක ගන්නා අවස්ථාවේ දී ඉන්දියානු කණ්ඩායමට ලකුණු 5ක තියුණු ජයක් හිමිවෙනවා.

පාකිස්තානය වෙනුවෙන් අවසන් මොහොත දක්වාම සටන අත් නොහළ මිස්බා උල්හක් ඒ වෙද්දී පන්දු 38කින් ලකුණු 43ක් ලබාගෙන හිටියේ.

මෙතනට වෙනකල් කතාව ඔබ අහලා තියනවා, දැකලා තියනවා සහ දන්නවා. මෙතන ඉඳන් අපි කියන්නේ වැඩිය අහලා නැති කතාවක්.

තරගය අවසාන වෙනකල් තනියම ඇදන් ගියපු මිස්බා උල්හක් වැඩිය ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ට හුරුපුරුදු නමක් නෙවෙයි.

මිස්බා එවර ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාවට යන්නේ පාකිස්තානු කණ්ඩායමේ සුපිරි පිතිකරු මොහොමඩ් යූසෆ් වෙනුවට. මිස්බා කියන්නේ පාකිස්තානුවන් පන්දුවාර පනහේ ක්‍රිකට්වලටවත් සුදුසු නෑ කියලා හංවඩු ගහපු ක්‍රීඩකයෙක්.

2001 වසරේ දී ජාත්‍යන්තර වරම් හිමිකර ගත්ත මිස්බා උල්හක්ට කොයි ආකාරයෙන් වත් පාකිස්තානු කණ්ඩායමේ ස්ථාවර වෙන්න ලැබුණේ නෑ. ඒ නිසාම මිස්බා උල්හක් කියන නම කාටත් අමතක වෙමින් තිබුණේ.

එක දෙයක් මිස්බාට හරහට හිටියා. ඒ වයස. මිස්බා ජාත්‍යන්තර වරම් දිනා ගන්න කොටත් වයස අවුරුදු 27ක්. මිස්බා මේ අතරවාරයේ තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්නත් අමතක කළේ නෑ.

මිස්බා විවාහ වන්නේ උස්මා ඛාන් එක්ක ඒ 2004 වසරේ දී. මේ වෙද්දී පාකිස්තානු ජාතික කණ්ඩායමට නැවත එන එක මිස්බාට හීනයක් වෙමින් තිබුණ කාලයක්. උස්මාත් මිස්බා මෙන්ම අධ්‍යාපනය අතින් ඉහළට ගිය කාන්තාවක්.

මේ අතරේ මිස්බා පාකිස්තානයේ දේශීය තරගවලට සහභාගී වෙමින් ජීවත් වීමට සරිලන මුදලක් උපයා ගත්තා.

පසුකලෙක මිස්බා තීරණය කරනවා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී තමන් සතු උපාධියෙන් වෙනත් රැකියාවක නිරත වෙන්න. නමුත් ඔහුගේ බිරිඳ උස්මා ඒ තීරණයට එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ.

2007 වසර මුල මිස්බා සිය බිරිඳට කියනවා තමන්ට තවත් මාස හයක කාලයක් ලබා දෙන්න. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් යමක් කරන්න බැරි වුනොත් තමන් වෙනත් රැකියාවක් සොයාගන්නා බව.

2004 වසරේ උස්මා ඛාන් සමඟ විවාහ වූ මිස්බා

ඒ වෙද්දී මිස්බා සහ උස්මා යුවලගේ ගිණුමේ තිබුණේ පාකිස්තානු රුපියල් 17,000ක පමණ මුදලක්.

2007 ලෝක කුසලාන තරගාවලිය පාකිස්තානු කණ්ඩායම පැත්තෙන් ඉතාම අසාර්ථක එකක්. නායක ඉන්සමාම් උල්හක් ක්‍රීඩාවෙන් සමුගන්නා අතරේ පුහුණුකරු බොබ් වුල්මර් අභිරහස් ලෙස මිය යනවා.

2007 විස්සයි විස්ස ලෝක කුසලානයට නියෝජනය කරන්නට අලුත් මුහුණුවලින් යුතු තරුණ පාකිස්තානු කණ්ඩායමක් එවන්නට පාකිස්තානු බලධාරීන් තීරණය කරනවා.

මේ කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ ෂොයිබ් මලික්ට.

දකුණු අප්‍රිකාවට යන කණ්ඩායම තෝරන අවස්ථාවේ දී මලික්ගේ ඉල්ලීමක් වන්නේ සුපිරි පිතිකරු මොහොමඩ් යූසෆ් කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට මිස්බා උල්හක් කණ්ඩායමට එක් කරන ලෙස. මේ ඉල්ලීම බොහෝ දෙනා පුදුම කරවන්නක් වුනා.

එක්දින තරග රටාවටවත් සුදුස්සෙක් නොවන කලක් තිස්සේ නොසලකා හැරිය මිස්බා වේගවත් විස්සයි විස්ස රටාවට ගැළපෙන්නේ කොහොමද කියලා පාකිස්තානු බලධාරීන් කල්පනා කළා. අනෙක මිස්බාගේ වයස අවුරුදු 33ක්.

ෂොයිබ් මලික් තමන් කරන දේ හොඳින්ම දැනගෙන හිටියා. පාකිස්තානු බලධාරීන් එවෙලේ සිටි තත්ත්වය අනුව තවත් නායකයෙකු සමඟ ගැටුම් ඇති නොකරගන්නා බව ඔහු දැනගෙන සිටියා.

අකමැත්තෙන් හෝ මලික් ගේ ඉල්ලීමට ඉඩ දෙනවා විනා වෙනත් විකල්පයක් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබුණේ නැහැ.

ඒ විදියට දකුණු අප්‍රිකාවට යන මිස්බා තමයි පාකිස්තානු කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වෙන්නේ. තරග හතක දී මිස්බා රැස් කළ ලකුණු සංඛ්‍යාව 218ක්. ඒ 54.50ක ලකුණු සාමාන්‍යයක් සහ 139.74ක ප්‍රහාරක වේගයක් සමඟ.

මිස්බාගේ තැනට සුදුසු අයුරින් පන්දුවට පහර දීම, අවශ්‍ය අවස්ථාවක වේගයෙන් පන්දුවට පහර දීමට තිබූ හැකියාව ක්‍රීඩාලෝලීන් සෑහෙන ඉහළින් කතා කළා.

වැඩිකල් යන්නේ නැතුව පාකිස්තානු එක්දින සහ ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවර වන්නට මිස්බාට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි පාකිස්තානු කණ්ඩායමේ නායකත්වය දරන්නත්. මිස්බා පාකිස්තානු කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයින් අතර ඉහළින්ම සැලකෙන ක්‍රීඩකයෙක්.

“තේරීම් කමිටුව මගේ පැත්තට නම්මගන්න සෑහෙන අමාරු වුනා. ඒත් මම දැකල තිබුණා මිස්බා ඒ දවස්වල ක්‍රීඩා කරපු විදිය. ඒකයි මම ඔහු වෙනුවෙන් පෙනී හිටියේ,” පහුකාලෙක ෂොයිබ් මලික් මාධ්‍යය හමුවේ පැවසුවා.

Dawn හි පළවූ ලිපියක් ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<