2026 IPL දැන් අතිශය උණුසුම්!

IPL 2026

4

2026 IPL තරගාවලිය මේ වන විට ඉතා උණුසුම් මුහුණුවරක් ආරෝපණය කර ගෙන සිටිනවා.

මේ වන විට තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපය ක්‍රියාත්මක වන අතර, කණ්ඩායම් දෙකක් තරගාවලියෙන් මේ වන විටත් ඉවතට විසි වී තිබෙනවා. කෙසේ වෙතත් ඉතිරි කණ්ඩායම් 08ම තවමත් තරගාවලියේ ඉදිරි වටයට වෙත යාමට කරට කර සටනක නියැලෙමින් සිටීම සුවිශේෂී කාරණයක්.

ඊයේ (12) දිනයේ දී තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම දෙකක් වන Gujarat Titans කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර තීරණාත්මක තරගයක් ක්‍රියාත්මක වූ අතර, එහි දී ප්‍රබල SRH කණ්ඩායමට එරෙහිව ලකුණු 82ක දැවැන්ත ජයක් ලබමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට GT කණ්ඩායම සමත් වුනා.

තරගාවලිය ආරම්භයේ දී GT කණ්ඩායම එතරම් හොඳින් තරග නොකළ නමුත්, පසුව ඔවුන් සිය රිද්මය හඳුනා ගනිමින් ඉතා ආක්‍රමණශීලී තරග රටාවකට අවතීර්ණ වුනා. මේත් සමඟම තරගාවලිය ආරම්භයේ බැබළෙමින් සිටි Punjab Kings කණ්ඩායම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය තෙක් ඇද වැටීම ද විශේෂ අවධානයකට ලක් වී තිබෙනවා.

2026 IPL ලකුණු සටහන

මේ වන විට පෙර සඳහන් කළ සේම GT කණ්ඩායම ඉතා ඉහළ දක්ෂතා සමඟ පෙරමුණේ රැඳෙන අතර, ඉන් පසුව වත්මන් IPL ශූරයින් වන RCB කණ්ඩායම රැඳී සිටිනවා. මින් පසුව SRH සහ PK කණ්ඩායම් ලකුණු සටහනේ රැඳී සිටින අතර, මෙවර තරගාවලියේ තවත් පෙරළි කාර කණ්ඩායමක් වන CSK පස්වැනි ස්ථානයේ රැඳෙනවා. මෙම කණ්ඩායම් සියල්ලට Playoff වටය සඳහා සුදුසුකම් ලැබීමට ඇති අවස්ථා එකින් එක විමසා බලමු!

එක් එක් කණ්ඩායම්වල දළ ලකුණු වේගය සහ ක්‍රීඩා කිරීමට ඉතිරි වී ඇති තරග පිළිබඳ වටහා ගැනීමට පහත වගුව නිරීක්ෂණය කරන්න.

Gujarat Titans

ඔවුන් තරගාවලිය ආරම්භයේ ක්‍රීඩා කළ මුල් තරග 07න් හතරක් පරාජය වූ නමුත්, අවසන් වරට ක්‍රීඩා කළ තරග 05ම නොකඩවා ජය ගැනීමට සමත් වුනා. මේ අනුව ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකෙන් එකක් ජය ගැනීම Playoffs වෙත පිවිසීමට ප්‍රමාණවත් වනවා.

Gujarat Titans කණ්ඩායම සතුව ඉතා ඉහළ දස්කම් පාන මුල් පෙළ පිතිකරුවන් සහ අති විශිෂ්ට පන්දු යැවීමේ බල ඇණියක් සිටීම සුවිශේෂී කරුණක්.

Royal Challengers Bangaluru

තරගාවලියේ මෙතෙක් හොඳම දළ ලකුණු වේගය සහිතව ඉදිරියට යන කණ්ඩායම වන RCB කණ්ඩායම ගිය වර මෙන්ම මෙවරත් ඉතා සමබර ලෙස තරගාවලිය ක්‍රීඩා කිරීමට සමත් ඊ සිටිනවා. ඔවුන් සෑම විටම සිය රිද්මය බිඳී යාමට ඉඩ නොදී තරගාවලිය පුරාවට එක ලෙස තරග වැදීමට සමත් වුනා.

Sunrisers Hyderabad

ඔවුන්ට ද ඉතිරිව ඇති තරග ද්විත්වයෙන් එකක් ජය ගැනීම Playoffs වෙත පිවිසීමට ප්‍රමාණවත් වනවා. කෙසේ වෙතත් ඔවුන් එම තරග ද්විත්වයම පරාජය වුව හොත් තත්වය තරමක් බරපතළ වනු ඇති.

SRH කණ්ඩායම ද තරගාවලියට එතරම් හොඳ ආරම්භයක් ලබා ගැනීමට අසමත් වූ නමුත්, ක්‍රමයෙන් සිය දක්ෂතා ඉහළට රැගෙන ඒමට සමත් වුනා. ඔවුන් සතුව සිටින ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු යුගලයේ සාර්ථක වීම ඔවුන්ට දිගු ගමනක් යාමට අතිශය වැදගත් වනවා.

Punjab Kings

මෙවර තරගාවලියේ මුල් තරග හත නිමා වන විට අපරාජිත ලෙස රැඳෙමින් ඉතා විශිෂ්ට තරග රටාවක නියැලෙමින් සිටි PK කණ්ඩායම ඉන් පසුව ක්‍රීඩා කළ තරග හතරක් නොකඩවා පරාජය වුනා. එම පරාජයන් වැල නිසා මේ වන විට ඔවුන් තරමක් අසරණ වී සිටින අතර, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග තුනෙන් දෙකක් හෝ ජය ගැනීම ඔවුන්ට අතිශය වැදගත් වනවා.

Chennai Super Kings

CSK කණ්ඩායම ද තරගාවලියට එතරම් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් නොවුනත්, තරගාවලිය අතර මැද දී ඉතා හොඳින් තරග වැදීමට සමත් වෙමින් ඉදිරියට පැමිණියා.

මේ අනුව ඔවුන් තමන්ට ඉතිරිව ඇති තරග තුනෙන් අවම වශයෙන් දෙකක් හෝ ජය ගැනීම Playoffs වෙත පිවිසීම සඳහා අනිවාර්ය වනවා. කෙසේ වෙතත් Rajasthan Royals කණ්ඩායම සහ ඔවුන් තර ඉතා තියුණු සටනක් නිර්මාණය වනු ඇති.

Rajasthan Royals

ඔවුන් සම්පූර්ණයෙන්ම CSK කණ්ඩායම ගිය ගමනට ප්‍රතිවිරුද්ධ ගමනක් ගිය කණ්ඩායමක් ලෙස සැලකිය හැකි. තරගාවලියට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ නමුත්, පසුව ඔවුන්ගේ ක්‍රීඩා රටාව ක්‍රමයෙන් හීන වී ගියා. මේ වන විට පවතින තත්වය අනුව ඔවුන්ට Playoffs වෙත පිවිසීමේ බලාපොරොත්තු රැක ගැනීමට නම් අවම වශයෙන් ඉතිරි තරග තුනෙන් දෙකක් ජය ගැනීම අත්‍යාවශ්‍යයි.

Kolkata Knight Riders

තරගාවලියේ මුල් අදියර තුළ එකදු ජයක් හෝ නොමැතිව කල් ගෙවූ KKR කණ්ඩායම පසුව සිය වැරදි නිවැරදි කර ගනිමින් තරගාවලියට සාර්ථකව ප්‍රවිෂ්ට වීමට සමත් වුනා.

මේ වන විට ඔවුන්ට තවත් තරග හතරක් ඉතිරි වී ඇති අතර, එම තරග හතරම හෝ අවම වශයෙන් තරග තුනක් ජය ගැනීමට හැකි වේ නම් ඔවුන්ට ද Playoffs බලාපොරොත්තු රඳවා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

Delhi Capitals

මෙවර තරගාවලිය තුළ ද බලාපොරොත්තු වූ තරම් දක්ෂතා දැක්වීමට නොහැකි වූ දිල්ලිය මේ වන විට නිල නොවන මට්ටමින් තරගාවලියෙන් ඉවත් වී අවසන්. ඔවුන්ට ඉතිරි වී ඇති තරග ද්විත්වයම ජය ගත්ත ද ඔවුන්ට Playoffs වෙත පිවිසීමට නම් අනෙක් කණ්ඩායම් අතර තරගවල තීරණ දෙස බලා හිඳීමට සිදු වනවා. කෙසේ වෙතත් දැන් පවතින තත්වය අනුව ඔවුන්ට එම තරග තීරණවලින් යහපත් බලපෑමක් එල්ල වීමට ඇති අවස්ථාව ඉතා අවමයි.

Mumbai Indians සහ Lucknow Super Giants

මෙම කණ්ඩායම් ද්විත්වය මේ වන විටත් සිය බලාපොරොත්තු සියල්ල සුන් කර ගෙන අවසානයි. IPL ඉතිහාසයේ නොමැකෙන නාමයක් රැක ගැනීමට සමත් වී සිටි Mumbai Indians කණ්ඩායමේ මෙම බිඳ වැටීම පිළිබඳ බොහෝ දෙනා අතර කතාබහ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට කණ්ඩායම් අභ්‍යන්තර ගැටලු ද දූසමාන ආරංචි ලෙස පිටතට පැමිණීමට පටන් ගෙන ඇති අතර, ලබන වසරේ දී ඔවුන්ට විශේෂ වෙනස්කම් රැසකට යොමු වීමට සිදු වන බව අනුමාන කළ හැකි. මේ අතර LSG කණ්ඩායම ද තරගාවලිය පුරාවට අවශ්‍ය රිද්මය සොයමින් සිටි නමුත් ඔවුන්ට එය සොයා ගැනීමට නොහැකි වුනා. විශේෂයෙන්ම ඔවුන්ට සමබර කණ්ඩායමක් ලෙස තරග ක්‍රීඩා කිරීමට නොහැකි වීම මෙම තත්වයට හේතු වූ බව වටහා ගත හැකි.

මේ වන විට මෙවර තරගාවලියේ තරග 56ක් ක්‍රීඩා කර අවසන්. මූලික වටය නිමා වීමට ඉතිරිව ඇත්තේ තවත් තරග 14ක් පමණයි. මෙම තරග 14 තුළින් Playoffs වරම් ලබන කණ්ඩායම් 04 තේරී පත් වීමට නියමිත අතර, එම කණ්ඩායම් හතර තෝරා ගැනීමෙන් අනතුරුව තවත් මෙවන් ලිපියකින් එම කණ්ඩායම් හතර පිළිබඳ දත්ත ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<