T20 ලෝක කුසලානයට ඉන්දියාව විරුද්ධ වෙයි?

3187
Getty Images

විස්සයි විස්ස තරග රටාව අද ලෝකයම ආක්‍රමණය කර අවසන්. විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඕස්ට්‍රේලියානු භූමියේ දී ආරම්භ වෙනවා.

ඉතින් අපි තීරණය කළා පොඩ්ඩක් මේ ලෝක කුසලානයේ යටගියාව ගැන මතකය ආපහු අලුත් කරන්න. මේ එහි පළමු කොටසයි.

ඉන්දියානුවන් ලෝක කුසලානයකට විරුද්ධ වෙයි

2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වීමේ යෝජනාව පැමිණි විට ටෙස්ට් වරම් හිමි එක් රටක් තරයේ ඒ යෝජනාවට විරුද්ධ වුනා. අවසානයේ 9-1ක් ලෙස ලෝක කුසලාන යෝජනාව සම්මත වුනා.

ලෝක කුසලාන යෝජනාවට විරුද්ධව මනාපය පළ කළ එකම රට වූ ඉන්දියාව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් රහිත තරුණ කණ්ඩායමක් විස්සයි විස්ස ලෝක කුසලානයට එවන්නට තීරණය කළා. මේ තීරණයට 2007 පන්දුවාර පනහේ ලෝක කුසලානයේ පරාජයත් ඔවුන්ගේ හිතේ කොනක හොල්මන් කරන්න ඇති.

ඒ ආකාරයෙන් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවට පැමිණි තරුණ ඉන්දියානු කණ්ඩායම කිසිවෙකු නොසිතූ පරිද්දෙන් විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින්ගෙන් ඩැහැගෙන ඉන්දියාවට රැගෙන ගිය ආකාරය අපූරු අන්දරයක්.

එදා ඉන්දියානුවන් ලද අනපේක්ෂිත ජයග්‍රහණය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පමණ නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ද දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ එකක්. මේ ජයග්‍රහණය නිසාවෙන්ම ඉන්දියානු ප්‍රිමියර් ලීගය වැනි ඉහළ වාණිජමය වටිනාකම ඇති තරගාවලි බිහිවන්නට මූලික පදනම වැටුණා.

අමුතු දේ කළින්ම පුරුදු පුහුණු වූ ඉන්දියානුවන්

2007 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නීතිරීති තරමක් වෙනස්. අද වෙද්දී විස්සයි විස්ස තරගයක් ලකුණු සමව නිමාව දුටුවොත් ප්‍රතිඵලයක් ගන්න භාවිතා කරන්නේ සුපර් ඕවර් කියන ක්‍රමවේදය. නමුත් 2007 ලෝක කුසලානයේ එවන් තරගයක තීරණය ලබා ගන්නට භාවිතා කළේ බෝල්-අවුට් ක්‍රමය.

බෝල්-අවුට් ක්‍රමය බොහෝ කණ්ඩායම්වලට නුහුරු දෙයක්. නමුත් ඉන්දියානු කණ්ඩායම තමන්ගේ පුහුණු සැසිවල දී බෝල්-අවුට් ක්‍රමය අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු වෙච්ච දෙයක් කියල පහුකාලෙක මහේන්ද්‍ර සිං දෝනි කිව්වා.

අපි හිතුවේ නෑ හැම තිස්සේම මේ වැඩේට පන්දු යවන්නෝ විතරක් යොදවන්න. අපි ඇත්තටම මේ වැඩේට යොදව ගත්තේ පුහුණුවීම්වල දී හරියටම වැඩේ කරපු අය.

සරල දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි අපි ඒ වගේ සරල දේවල්වලටත් විශාල අවධානයක් දුන්නා. කොයි මොහොතක හෝ තරගයක් බෝල්-අවුට් ක්‍රමයෙන් තීරණය වෙයි, විසඳෙයි කියලා මම විශ්වාස කළා. අපි හිතුවටත් වඩා ඉක්මනින් එහෙම දෙයක් වුනා,” දෝනි තවදුරටත් පැවසුවා.

පාකිස්තානු කණ්ඩායම සමඟ කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ පැවති මූලික වටයේ තරගය නිමාව දුටුවේ ලකුණු සමව අවසන් වීමෙන්. ඒ අවස්ථාවේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගයක මුල්ම වරට බෝල්-අවුට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට සිදු වුනා.

එදා ඉන්දියානු කණ්ඩායමේ විරේන්ද්‍ර සේවාග්, හර්බජාන් සිං සහ රොබින් උත්තපා තමන් ලබා ගත් මුල් අවස්ථා තුනේ දී ම කෙළින්ම කඩුලු වෙත පන්දුව සාර්ථකව යොමු කරන්න සමත් වුනා.

දෝනි ගාව වෙනම ලිස්ට් එකක් තිබුණා. පුහුණුවීම්වල දී කවුද මේ වැඩේ හොඳටම කරන්නේ කියලා. හැබැයි මේ ලැයිස්තුවේ මගේ නම තිබුණේ නෑ. මම දෝනිගෙන් මේ ගැන ඇහුවා.

උඹ මේ වැඩේට හරියන්නේ නෑ. බෝලේ ස්විං වෙලා එලියට යාවි’ දෝනි සමච්චලයට වගේ කිව්වා,” එදා ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ රුද්‍රා ප්‍රතාප් සිං පහුකාලෙක කිව්වා.

පාකිස්තානු කණ්ඩායමට එදා උරුම වුනේ ඊට හාත්පසින්ම වෙනස් ඉරණමක්. ඔවුන් එදා යොදා ගත් ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් වූ යසීර් අර්ෆත්, උමාර් ගුල් සහ ෂයිඩ් අෆ්රිඩි යන තිදෙනාගෙන් එක් අයෙකුටවත් පන්දුව කඩුලුවල වද්දා ගැනීමට තියා ඒවාට කිට්ටුවෙන් හෝ යවා ගැනීමට නොහැකි වුනා.

ඉන්දියානු කණ්ඩායම බෝල්-අවුට් ක්‍රමයෙන් ජය ලබමින්.

ඒ අනුව එදා බෝල්-අවුට් ක්‍රමයෙන් අමුතු තාලයේ ජයක් ලබා ගන්නට ඉන්දියානු කණ්ඩායම සමත් වුනා.

ෆයිනල් එකට වතුර ඇද්ද විරේන්ද්‍ර සේවාග්

ජොහැන්ස්බර්ග් නුවර ආරම්භ වූ ඉන්දු-පාකිස්තාන අවසන් මහා තරගයට කලින් ප්‍රවේගකාරී ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සේවාග් ආබාධයකට ලක් වෙනවා. ඒක ඉන්දියාව පැත්තට එල්ල වූ මරු පහරක්.

ඒක හරිම කණගාටුදායක මතකයක්. මම අන්තිම මොහොත වෙනකල් උත්සහ කළා කොහොමහරි ක්‍රීඩා කරන්න. වේදනා නාශක එන්නත් පවා ලබා ගත්තා. ඒත් මට අවසානයේ තේරුම් ගියා ඒක ප්‍රතිඵල රහිත වැඩක් කියලා. පස්සේ මම MSට කිව්වා මා ගැන බලාපොරොත්තු අත්හරින ලෙස,” සේවාග් පැවසුවා.

සේවාග් නිසා හිස් වූ තැනට ඉන්දියානුවන් නම් කළේ යූසෆ් පතාන්. ඔහු එවක ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරමින් සිටි ඉර්ෆාන් පතාන්ගේ වැඩිමහල් සහෝදරයා. ඉර්ෆාන් පතාන්ට අවසන් මහා තරගයට සිය සහෝදරයා තෝරාගැනීම ගැන ඇත්තේ මෙවැනි මතකයක්.

යූසෆ් පතාන් අවසාන මොහොතේ ඉන්දීය කණ්ඩායමේ අවසන් එකොළොස් දෙනා අතරට කැඳවීම පාකිස්තානු කණ්ඩායමටත් වඩා පුදුමයක් වුනේ යූසෆ් පතාන්ට.

යූසෆ් එදා උදේ සුපුරුදු විදියට ජිම් ගිහින් ව්‍යායාම එහෙම කරලා හිටියේ. එකවරම ඔහු මට කතා කරලා ඔහුගේ කාමරයට එන්න කියලා කිව්වා. මාත් කලබලයෙන් දුවලා ගියා.

‘මාර වැඩේ බායි මාව අන්තිම එකොළහට දාලා’ ඔහු කිව්වේ කලබලයෙන්.

‘ඉතින් ඒක හොඳයිනේ’ මම කිව්වා.

‘මට කකුල් දෙක හොල්ල ගන්නවත් බැහැ’

‘ යූසෆ් බායි මේක නම් අතාරින්න එපා. කොහොම හරි ගහමු. මේ වගේ අවස්ථාවක් ආයේ එන්නේ නෑ’

‘මගේ කකුල් ඔක්කොම ගල් ගැහිලා වගේ’

මම එදා ඔහුව දිරිමත් කරපු ආකාරය තාම මතකයි. ඒ වගේම මම ඔහුගේ කකුල් සම්බාහනය කරමින් යථා තත්ත්වයට ගේන්නත් උත්සහ කළා.”

විරේන්ද්‍ර සේවාග් වෙනුවට ඉනිම ආරම්භ කළ යූසෆ් පතාන් තමන් මුහුණ දුන් මුල්ම පන්දුවටම පාකිස්තානු ආරම්භක පන්දු යවන්නා වූ මොහොමඩ් අසීෆ්ට දැවැන්ත හයේ පහරක් එල්ල කළා. ලෝන් ඕන් කලාපයට ඉහළින් එල්ල කළ ඒ හයේ පහර මීටර 82ක් දුරට ඇදී ගොස් තිබුණා.

යූසෆ් පතාන් එල්ල කළ දැවැන්ත හයේ පහර

ඔහු ඒ හයේ පහර එල්ල කළේ මොහොමඩ් අසීෆ්ට. අසීෆ් කියන්නේ ඉතාමත්ම දක්ෂ වේගපන්දු යවන්නෙක්. ඒ කාලේ වෙද්දී ලෝකයේ ඉදිරියෙන්ම හිටපු පන්දු යවන්නෙක්.

මට හිතුණේ යූසෆ් හයේ පාර ගහපු වෙලාවේ ඒ හය ගැහුවේ මම කියලා. මම ඒ තරම් උද්දාමයට පත්වුනා ඒ පහරෙන් පස්සේ” සිය සහෝදරයා ගේ හයේ පහර ගැන ඉර්ෆාන් පතාන් තවදුරටත් මතකය අවදි කළේය.

මට එදා ලැබුණේ මගේ පළපුරුදු සහායක පිතිකරුවා වෙනුවට අලුත් කෙනෙක්. ඒක අමතර වගකීමක් වුනා. ඉතින් ඔහුවත් බලාගෙන ඉනිම ගොඩ නැගීමට මට සිදු වුනා. අනෙක් පසින් කඩුලු දැවී ගිය නිසා මට තරමක් ප්‍රවේසමෙන් පන්දුවට පහර දෙන්න වුනා.”

එදා ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 75ක් රැස් කළ ගෞතම් ගාම්භීර් පසුව පැවසුවා.

මේ අතර ආබාධයකට ලක්ව සිටි විරේන්ද්‍ර සේවාග්ට එදා ක්‍රීඩා කළ අනෙකුත් සහෝදර ක්‍රීඩකයින්ට වතුර ඇදීමට සිදු වූ බවයි පැවසෙන්නේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<