ඉම්රාන් නම් සර්වකාලීන ශ්‍රේෂ්ඨයා

1600
Getty Images

ඉම්රාන් ඛාන් කියන්නේ තමන්ගේ පරම්පරාවේ ක්‍රීඩකයින්ගේ ඉඳලා මේ වෙනකල් පරම්පරාවන් එකින් එක උද්දීපනය කරපු සහ කරන මනුස්සයෙක්.

අදටත් පාකිස්තානු කණ්ඩායමට එන ඕනම ක්‍රීඩකයෙක්ගේ වීරයා ඉම්රාන්. එහෙම පරම්පරා ගානකට පරමාදර්ශී චරිතයක් වෙච්ච ඉම්රාන් වගේ උදවිය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නැහැ.

කෙදිනක හෝ මගේ ක්‍රිකට් ගමන නිමා කරන්නට තීරණය ගන්නා දවසක දස්කම් අතින් මා ඉතාම ඉහළ තැනක සිටිය යුතු බව ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත් දවසේ සිටම මගේ තිබුණු සිතිවිල්ලක්.

එමෙන්ම කිසිම දිනෙක තේරීම් කමිටුවට මා බරක් නොවිය යුතු බවත් හැමදාම මගේ හිතේ කොනක තිබුණා.

දස්කම් හීනවීමෙන් කණ්ඩායමෙන් ඉවතට ඇද දමන තැනට යන්නට මට උූවමනා කළේ නැහැ. පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝමයක් දැවැන්ත ක්‍රීඩකයින්ට අත්වූ අවාසනාවන්ත ඉරණම මට අත් වෙනවාට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ.

මම ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළේ 1987 ලෝක කුසලානය කාලයේ. නමුත් ඒ සැලසුම් මට ඕනෑ කළ සහ බලාපොරොත්තු වූ ආකාරයෙන් සිදු වුනේ නැහැ.

ලාහෝර් නුවර පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී නොසිතූ ආකාරයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතින් පාකිස්තානු කණ්ඩායම පරාජයට ලක්වුනා.

හොඳින් දස්කම් අතර සිටින ඕනෑම ක්‍රීඩකයෙකු ක්‍රීඩාවෙන් නියමිත කාලයට කලින් සමුගන්නා අවස්ථාවක නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන්නට කියා ඉල්ලමින් ලැබෙන පීඩනය සෑහෙන වැඩියි. නමුත් මා වෙත ලැබුණේ හිතා ගැනීමටවත් නොහැකි තරමේ පීඩනයක්.

මගේ නිවස ඉදිරියේ බොහෝ පිරිස් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට එක්වන ලෙසින් ඉල්ලීම් කරමින් රැඳී සිටිනු දකින්නට ලැබුණා. ඇතැම් පුද්ගලයින් මාරාන්තික උපවාස කරන තැනට පවා පැමිණ සිටියා. නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන ලෙස ඉල්ලමින් මා වෙත එවනු ලැබූ ලිපිවල අඩුවක් තිබුණේ ද නැහැ.”

මෙහෙම කියන්නේ පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයේ අති දැවැන්තම සහ සුවිශේෂීම පුරාවෘත්තයක් ලෙස සැලකෙන ඉම්රාන් ඛාන්.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන් පැවති 1987 රිලයන්ස් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ පරාජයෙන් අනතුරුව ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙනවා.

නමුත් එවකට පාකිස්තානයේ ජනාධිපති වූ ජෙනරාල් සියා උල්හක් ගේ ආරාධනාවෙන් නැවත ක්‍රිකට් පිටියට එන්නට ඉම්රාන් ඛාන් තීරණය කරනවා. එලෙස නැවත ක්‍රීඩාවට අවතීර්ණ වන ඉම්රාන් 1992 වසරේ පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය පාකිස්තානුවන්ට දිනා දීමට සමත් වෙනවා.

මගේ පවුලේ උදවිය, කිට්ටුම යාළු මිත්‍රයින් හැමදෙනාම කිව්වේ ක්‍රිකට් ක්‍රීඩවෙන් සමුගන්නට ගත් මගේ තීරණය වෙනස් නොකරන ලෙස. ඔවුන් හිතුවේ දස්කම් අතින් හිණිපෙත්තේ ඉන්න වෙලාවක මම ගත්ත තීරණය හරියටම හරි කියලා. බොහෝ පාකිස්තානු ක්‍රිකට් දැවැන්තයන්ට අත් වූ ඉරණම මටත් ලැබෙනවාට ඔවුන් කැමති වුනේ නැහැ.

නමුත් රටේ රාජ්‍ය නායකයාගෙන් එවන් ඉල්ලීමක් ඒම විශාල ගෞරවයක් ලෙසයි මට හැඟුණේ.”

ඉම්රාන් ඛාන් කියන්නේ පිටියේ දී මෙන්ම ඉන් පිටත දීත් අසාමාන්‍ය පෞරුෂයක් පෙන්නුම් කළ අයෙක්. ඒකට ඔහුගේ පවුල් පසුබිමත් බලපෑවා.

මගේ අම්මා සෑහෙන ප්‍රෞඪ කාන්තාවක්. ඇයගේ සහෝදරියෝ දෙන්නත් එහෙමයි. ආගම, දේශපාලනය ගැන ඔවුන්ට තිබුණේ ඉතාම දියුණු මතිමතාන්තර. මගේ මවගේ සොයුරියන් දෙදෙනාගේ පුත්‍රයින් දෙදෙනෙකු ජාවෙඩ් බර්කි සහ මජීඩ් ඛාන් කලෙක පාකිස්තානු ජාතික කණ්ඩායමේ නායකත්වය දැරුවා.

මට මතකයි මට අවුරුදු දහතුනේ දී තාත්තා සතුව තිබූ කාරය පදවා ගෙන යද්දී මාව පොලිසියට හසුවුණා. එදා මම පොලිස් නිලධාරියාට අල්ලසක් දී පැන ගත්තා. මා කළ වික්‍රමය ඒ අවස්ථාවේ දී ම මගේ අම්මාට ආරංචි වී තිබුණා. ඇය එතරම් කේන්තියෙන් ඉන්නවා මම කවදාවත් දැකලා නෑ.

මම පුළුවන් තරම් උත්සහ කළා මා කළ වරද සාධාරණීකරණය කරන්න. මගේ වයසේ වෙනත් ඕනම දරුවෙක් මෙවන් වරදකට හසු වුනොත් කරන්නේ මෙහෙම දෙයක් කියල මම ඇයට කිව්වා.

‘වෙන අය වගේ නෙවෙයි. ඔබ පතාන් කෙනෙක්. ඔබ පතාන් කෙනෙක් ලෙස හැසිරිය යුතුයි’ ඇය කිව්වේ බොහොම ප්‍රෞඪ ආකාරයෙන්.

මගේ වයසේ අනෙක් දරුවන්ට වඩා මට ක්‍රිකට් ගැන විශ්වාසයක් තිබුණා. ඒකට මගේ පවුල් පසුබිමත් බලපාන්න ඇති. කවදා හෝ පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ හැකි බවට විශාල විශ්වාසයකුත් මට තිබුණා.

කුඩා ඉම්රාන් සිය මව, පියා සහ සහෝදරියන් දෙදෙනා සමඟ – ඡායාරූපය: ඉම්රාන් ඛාන්ගේ All Round View ග්‍රන්ථයෙන්

මට වයස අවුරුදු හතක් වෙද්දී අපේ පවුලේ සාමාජිකයින් ලාහෝරයේ සමාන් උද්‍යානය කිට්ටුවට පදිංචියට පැමිණියා. සමාන් උද්‍යානය අවුරුද්ද පුරාවටම භාවිතා කරන්නේ ක්‍රීඩා කටයුතු වලට. විශේෂයෙන්ම ක්‍රිකට්.

මගේ ක්‍රිකට් හැකියාව දියුණු වුනේ සමාන් උද්‍යානයේ ක්‍රීඩා කිරීමෙන්. විවිධ වයස් මට්ටම්වල අය එතනට ආවා. ඒ සමහර අය ඒ වෙද්දීත් පාකිස්තානු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය.

වයස් භේදයකින් තොරව සමාන් උද්‍යානයේ තරග සියල්ලම ඉතාම උද්වේගජනක ලෙස ක්‍රීඩා කෙරුණේ. මා වයස දහය ලබන්නටත් පෙර සමාන් උද්‍යානයේ ක්‍රීඩකයෙක් වුනා.

මුලින්ම මට වයසින් වැඩි ක්‍රීඩකයින් සමග ඒ තරම් සාර්ථක ලෙස ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. නමුත් ක්‍රමයෙන් මම ක්‍රිකට් ක්‍රීඩාව හොඳින් හඳුනා ගත්තා.

ලාහෝරයේ ඉහළ පැලැන්තියේ ජීවත් වීම සහ ඉහළ පැලැන්තියේ අය සමඟ ක්‍රීඩා කිරීම නිසා පාකිස්තානයේ අනෙකුත් තරුණ ක්‍රීඩකයින් මුහුණ දෙන ප්‍රශ්න ගැන මට හරි හැටි අවබෝධයක් තිබුණේ නැහැ.

වතාවක් සංචාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායමට එරෙහිව තරග කරන ලාහෝර් දහනමයෙන් පහළ කණ්ඩායමට මා තොර ගනු ලැබුවා.

එදා තෝරාගැනීම් වෙනුවෙන් ලාහෝරයේ තරුණ ක්‍රීඩකයින් 200ක් පමණ ඇවිත් හිටියා.

මට පන්දුවට පහර දීමේ වාරය එළඹුණා. පළමු පන්දු කිහිපය සම්පුර්ණයෙන්ම මා පරාජයට පත් කරමින් කඩුලු රකින්නා වෙත ඇදී ගියා. පිතිකරුවෙකු ලෙස මම සෑහෙන අසාර්ථකයි.

තේරීම් භාර නිලධාරීන් තීරණයකට ඇවිත් හිටියා. තේරීම් කමිටුව පිතිකරුවෙකු ලෙස මා තෝරා නොගන්නා බව මට හොඳටම විශ්වාසයි. ඔවුන් මට කිව්වා පිටියේ ඈත කෙළව‍රට ගිහින් පන්දු රකින්න පටන් ගන්න කියලා.

පන්දු යවන්නන්ගේ වාරයෙන් පසු තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ වාරය එළඹුණා. මට පන්දු කිහිපයයි යවන්න වුනේ එක්තරා තේරීම් කමිටු සාමාජිකයෙක් මා නැවැත්තවා. මගේ පන්දු යැවීමේ ඉරියව්ව ඉතා හොඳ බවත් වේගපන්දු යවන්නෙකු ලෙස මා තෝරා ගන්නා බවත් ඔහු කිව්වා.

අවසානයේ නොම්මර 0 පිතිකරුවෙකු සහ වේගපන්දු යවන්නෙකු ලෙස තේරී ක්‍රීඩා කරන්නයි මට සිදු වුනේ.

ලාහෝර් දහනමයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම – ඡායාරූපය: ඉම්රාන් ඛාන්ගේ All Round View ග්‍රන්ථයෙන්.

ලාහෝර් 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන කාලයේ මට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා.

ලාහෝර් 19න් පහළ කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් ඉතාම දුෂ්කර වටපිටාවන්ගෙන් පැමිණි උදවිය. ඔවුන් ක්‍රීඩා කළේ සහ ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගෙන තිබුණේ ඉතාම අමාරුවෙන්. ලාහෝරයේ තිබෙනවා ඉක්බාල් පාක් කියා ස්ථානයක්. එහි එකවර ක්‍රිකට් තරග 10ක් පැවැත්වෙන අවස්ථාවන් පවා තිබුණා. එදා ලාහෝර් කණ්ඩායමට තේරුණ බොහෝ ක්‍රීඩකයින් ආවේ එහෙම අසීරු පසුබිම්වලින්.

පාරවල්වල, පටු මාවත්වල විවිධ දුෂ්කරතා මැද කණ්ඩායමට තේරුණ ඔවුන් මා දෙස බැලුවේ වපරැසින්. ඔවුන් විශ්වාස කළේ මම මගේ ඥාති සොහොයුරන්ගේ සම්බන්ධකම නිසා තෝරාගෙන ඇති බව. ඒ වෙද්දීත් මගේ ඥාති සහෝදරයින් දෙදෙනා ජාවෙඩ්ට බර්කි සහ මජීඩ් ඛාන් පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් හිටියේ.

ඔවුන් මගේ පංජාබ් බස උච්චාරණය පවා විහිළුවට ගත්තා. මට සිද්ධ වුනා ඔවුන්ට ඔප්පු කරන්න මම ඒ කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුයි කියලා. පසුව ඔවුන් මා ඔවුන්ගේ සහෝදරයෙක් ලෙස සලකන්නට පටන් ගත්තා.

එය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් පමණක් නොව ජීවිතය පැත්තෙනුත් මට හොඳ පාඩමක් වුනා.”

ඉම්රාන් ඛාන්ගේ All Round View ග්‍රන්ථය ඇසුරෙනි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<