අත්කොට කමීසෙට උඹ මාර හැඩ මිනිහෙක් බජ්ජි

1252

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඇඟේ හයියෙන්ම විතරක් කරන ක්‍රීඩාවක් නෙවෙයි. ක්‍රිකට් පිටියේ සාර්ථක වෙන්න මානසික ඒකාග්‍රතාවය, මානසික ශක්තිය වගේ දේවල් ඉතා වැදගත්.

ගොඩාක් වෙලාවට ක්‍රිකට් ක්‍රීඩකයින් වචන හරඹයෙන් ප්‍රතිවාදීන් මානසිකව වට්ටලා අමාරුවේ දාන්න හදනවා. ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Sledging කියලා. අපි අදත් ඔබට ගෙන එන්නේ ක්‍රිකට් පිටියේ සිද්ධ වෙච්ච ඒ වගේ රසවත් වචන ගැටුම් කිහිපයක්.

  • උඹ හරි කඩවසම් මිනිහෙක් බජ්ජි

හර්බජාන් සිංගේ පන්දු යැවීමේ ඉරියව්ව සෑහෙන ආන්දෝලනයට තුඩු දුන් එකක්.

එක්තරා තරගයක දී පන්දුවට පහර දෙන්න හර්බජාන් කඩුල්ලට ආවාම කඩුලු රකිමින් සිටි කුමාර් සංගක්කාර, හර්බජාන් නැත්නම් බජ්ජිගේ පන්දු යැවීමේ ඉරියව්වට පොඩි පහේ කින්ඩියක් දාන්න අමතක කරන්නේ නෑ.

හේයි බජ්ජි, උඹ ඔය අත්කොට කමීසෙට හරි කඩවසම් නේ බං. ඇයි උඹ බෝල් කරද්දී ඔහොම අදින්නේ නැත්තේ?”

  • දැන් මේ නාකි මනුස්සයාට එයා විතරයි.

නවසීලන්ත ක්‍රීඩකයෝ ක්‍රිකට් පිටියේ දී හරිම ක්‍රීඩාශීලී පිරිසක් කියලනේ අපි අහලා තියෙන්නේ. ඒත් ඔවුන් වචන වලින් පහර දෙන අවස්ථාවන්වල ප්‍රතිවාදීන්ගේ හරිම තැන්වලට පහර දෙන්න හරිම සූරයෝ.

1998 නවසීලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා. ඒ ටෙස්ට් තරග තුනක් සහ සිංගර්-අකායි නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගී වෙන්න.

මේ ටෙස්ට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මුල්ම ටෙස්ට් තරගයෙන් ලකුණු 167ක දැවැන්ත ජයක් අත් වෙන්නේ ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරපු නවසීලන්ත කණ්ඩායමට. ඒ නායක ස්ටීවන් ෆ්ලෙමිං ගේ අනර්ඝ පිතිහරඹය නිසාවෙන්.

මේ තරගාවලියට එද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා දැඩි ලකුණු අහේනියකට මුහුණ දීලා හිටපු කාලයක්. ඒ නිසාම අපේ ක්‍රිකට් බලධාරීන් ඔහුගේ උපනායකත්වය සනත් ජයසූරියට පවරනවා.

මේ කියන තරගයේ දෙවන ඉනිමේ අරවින්ද පන්දුවට පහර දෙන්න එද්දීම නවසීලන්ත ක්‍රීඩකයෝ තමන්ගේ වචන හරඹය පටන් ගන්නවා.

මට නම් පිස්සු හැදෙයි මගේ උපනායක පට්ටම මේ විදියට ගැලෙව්වොත්.

“දැන් මේ නාකි මනුස්සයාට ඉන්නේ එයා විතරයි”

කොහොම වුනත් අරවින්ද මේ ඉනිමේ දී ලකුණු 71ක් රැස් කර ගන්නවා. නමුත් ඒක ශ්‍රී ලංකාව පරාජයෙන් බේරගන්න ප්‍රමාණවත් වෙන්නේ නෑ.

  • ඒක රතුපාටයි, අවුන්ස පහක් විතර බර ඇති.

විවියන් රිචඩ්ස් කියන්නේ ලෝකේ පුරාම හිටපු පන්දු යවන්නෝ බියෙන් සලිත කළ පිතිකරුවෙක්.

හෙල්මටයක් රහිතව චුවින්ගම් එකක් හප හප බොහොම සැහැල්ලුවෙන් පන්දු යවන්නන්ට මුහුණ දුන්නත් ඔවුන්ට කිසිම අනුකම්පාවක් නොදක්වපු පිතිකරුවෙක් විදියටයි රිචඩ්ස් ප්‍රචලිත වෙලා හිටියේ.

මේ සිද්ධිය එංගලන්ත ප්‍රාන්ත තරගාවලියක සමර්සෙට් කණ්ඩායමත් ග්ලැමෝගන් කණ්ඩායමත් අතර පැවැත්වුන තරගයේ දී වෙච්ච අපූරු සිදුවීමක්.

ඒ අවස්ථාවේ දී පන්දුවට පහර දෙමින් හිටියේ රිචඩ්ස්. ඔහු ගැන ඒ වෙන කොට ගොඩක් දෙනා දැන  ගෙන හිටියේ නෑ. ඒ ප්‍රාන්ත ක්‍රීඩාවට ආපු අලුත නිසා. පන්දු යවමින් සිටියේ ග්ලැමෝගන් පිලේ ග්‍රේග් තෝමස්.

තෝමස් යවපු පළමු පන්දුවම රිචඩ්ස් පරාජය කරමින් කඩුලු රකින්න අතට ඇදී  යවනවා. රිචඩ්ස් ළඟට එන තෝමස් මෙහෙම කියනවා.

“ඒක රතු පාටයි තමුසෙට පේනවා අඩු වගේ නේද?”

රිචඩ්ස් චුවින්ගම් එක හප හපා සුපුරුදු සිනහවෙන්ම ඉවත බල ගන්නවා.

ඊළඟ පන්දුව නැවතත් රිචඩ්ස් ගේ පිත්ත පරයා කඩුලු රකින්නා අතට ඇදී යද්දී තෝමස් මෙහෙම කියනවා.

ඒක රවුම්, අවුන්ස පහක් විතර බරයි. තමුසේට  තාම  පෙනුණේ නැද්ද?”

රිචඩ්ස්ගේ ප්‍රතිචාරය පෙර පරිදිමයි.

තෝමස් එවන ඊළඟ පන්දුව රිචඩ්ස් ගේ සුපුරුදු වේගවත් පහරත් සමග නවතින්නේ ක්‍රීඩාංගණයෙන්  ඉවත ගඟේ. තෝමස් ළඟට යන රිචඩ්ස් සමච්චලයට වගේ හිනාවෙලා කියනවා

අයිසේ ග්‍රේග්, තමුසේ දන්නවනේ ඒක මොන විදිය ද, මොන පාට ද කියලා දැන් ගිහින් ඒක ඇහිදන් එනවා

  • රෝමේට ගියාම රෝමන්කාරයෙක් වගේ ඉන්න ඕන.

මයිකල් ඇතර්ටන් කියන්නේ එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙක්. ඇතර්ටන් ගොඩාක් වෙලාවට ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයේ.

ඇතර්ටන් මුල්ම වතාවට එංගලන්ත කණ්ඩායම එක්ක ඕස්ට්‍රේලියානු සංචාරයක යෙදෙන්නේ 1990-91 තරගවාරයේ දී.

මේ තරග සංචාරයේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගය අතරතුර ඇතර්ටන්ගේ පිත්තේ වැදිලා ගියපු උඩපන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ඉයන් හීලී පහසුවෙන් රැකගන්නවා. නමුත් පිටියේ සිටි විනිසුරුවරයා ඇතර්ටන් නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙස සංඥා කරනවා.

දිනය අවසානයේ ඇතර්ටන් කිට්ටුවෙන් යන ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා මෙහෙම කියනවා.

“උඹ මහ තක්කඩි හොරෙක්”

ඇතර්ටන් කියන්නේ සෑහෙන කූල් ඇල්වතුරත් නිවලා බොන ජාතියේ මිනිහෙක් වුනාට හොඳට වචනවලින් හරඹ කරන්න පුළුවන් ජාතියේ මිනිහෙක්.

හීලි කියපු කතාවට ඇතර්ටන් ඇඟට පතට නොදැනෙන්න මෙහෙම කියනවා.

“රෝමේට ගියාම රෝමන්කාරයෙක් වගේ ඉන්න ඕන කොල්ලෝ.”

ෂේන් වෝන් කියන්නේ නොම්මර එකේ දඟපන්දු යවන්නෙක් වගේම හොඳ කතා පෙට්ටියක්. ප්‍රතිවාදියා බෝලෙන්, බැට් එකෙන් බැරි නම් කටගහලා හරි පරාජය කරන්න ඔහු දන්නවා. කෙටියෙන්ම කියනවා නම් කොක්කෙන් හරි කෙක්කෙන් හරි වැඩේ කරගන්න වෝන් අති දක්ෂයා.

1999 වසරේ ඉන්දියානු කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයේ එක් ටෙස්ට් තරගයක් පැවැත්වුණේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී.

ඒ අවස්ථාවේ දී පන්දුවට පහර දෙමින් සිටියේ සව්රව් ගංගුලි සහ ඉන්දීය නායක සචින් තෙන්දුල්කාර්.

පන්දු යවමින් සිටි ෂේන් වෝන් කඩුල්ල වටා පැමිණ තණතීරුවේ කඩතොළු ඉලක්ක කරගනිමින් පන්දු යොමු කරමින් හිටියේ.

ඒ සෑම පන්දුවක්ම පාහේ එතරම් අනතුරුදායක ස්වරූපයක් ගත්තේ නෑ. ඒ නිසා ගංගුලි පිත්තට වඩා පාදයෙන් තමයි ඒ පන්දු පිළිගත්තේ.

හතර පස්වතාවක් ගංගුලි මේ වැඩේ කරද්දී වෝන්ගේ කට ඇරුණා. පන්දු යවන අන්තයේ හිටපු සචින් තෙන්දුල්කාර්ව පෙන්නලා වෝන් මෙහෙම කියනවා.

 ෂේන් වෝන් සහ සව්රව් ගංගුලි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයක් අතරතුර

මනුස්සයෝ, 40,000ක් විතර සෙනඟ සල්ලි ගෙවාගෙන මේ ඇවිල්ලා ඉන්නේ උඹ බෝලෙට පයින් ගහනවා බලන්න නෙවෙයි. මෙන්න මේ මනුස්සයා බැට් කරනවා බලන්න.”

වැඩි වෙලාවක් යන්න කළින් වෝන් ගේ පන්දුවක් පිළිගන්න තමන්ගේ සීමා ඉරෙන් එළියට පැනපු ගංගුලි ස්ටම්ප් වෙලා දැවී යනවා.

  • ඩ්‍රයිව් කරන්න ආස ද?

මේ සිදුවීම වෙන්නේ එංගලන්ත ප්‍රාන්ත තරගයක දී. වොරික්ෂයර් කණ්ඩායම සහ නොදම්ප්ටන්ෂයර් කණ්ඩායම් දෙක අතර පැවති තරගයක්.

දකුණු අප්‍රිකානු ජාතික ඇලන් ඩොනල්ඩ් නියෝජනය කරමින් හිටියේ වොරික්ෂයර් කණ්ඩායම. ඔහු මේ තරගයේ ඉතාම වේගයෙන් පන්දු යවමින් සිටි අවස්ථාවක්.

පන්දුවට පහර දෙන්නේ ඇලන් ලෑම්බ්. එංගලන්තය නියෝජනය කළ අති දක්ෂ පිතිකරුවෙක්. ලෑම්බ් දකුණු අප්‍රිකාවේ ඉපදී පසුව එංගලන්තයට සංක්‍රමණය වූවෙක්.

පන්දුවට පහර දෙන ලෑම්බ් පෙර පාදයේ පහර දෙන්න ප්‍රියතාවයක් දක්වන බව පන්දු යවමින් සිටි ඇලන් ඩොනල්ඩ් අවබෝධ කරගන්නවා. ඒ අනුව ඩොනල්ඩ් ගෙන් ලෑම්බ්ට ලැබෙන්නේ බවුන්සර් පන්දු කිහිපයක්.

දෙවැනි හෝ තෙවැනි කෙටි පන්දුවට පස්සේ ඩොනල්ඩ්, ලෑම්බ් ගාවට කිට්ටු කරලා මෙහෙම කියනවා.

“හේයි ලැම්බි, උඹට ඩ්‍රයිව් කරන්න නම් මුකුත් ලැබෙන්නේ නෑ. කැබ් එකක් අල්ල ගත්තොත් මොකද?”

ඩොනල්ඩ් ගේ අවාසනාවට ඔහු යැවූ ඊළඟ පන්දුව වැටෙන්නේ ඩ්‍රයිව් පහරකට ඉතාම සුදුසු ලෙස.

වහාම ක්‍රියාත්මක වෙච්ච ලෑම්බ් කවර් ඩ්‍රයිව් පහරකින් කෙළින්ම ලකුණු හතරක් ලබා ගන්නවා. ඒ අතරේ ඩොනල්ඩ් ගාවට කිට්ටු කරලා මෙහෙම කියන්නත් අමතක කරන්නේ නෑ.

“දැන් ගිහින් ඒක පාක් කරලා වරෙන්”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<