ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සර්වකාලික අරවින්දය!

1271

ක්‍රිකට් පිත්ත අතට ගත් ඔහුව අපට පෙනුණේ අසිපතක් අතට ගත් සමුරායි විරුවෙක් මෙනි. ක්‍රිකට් පිටියට පැමිණි මුල් සමයේ ඔහුගේ තිබූ නොහික්මුණ ගති නිසාවෙන් මෑඩ් මැක්ස් යන අන්වර්ථ නාමයක් ඔහු වෙත පටබැඳුනි.

ක්‍රීඩා දිවිය ආරම්භයේ දී තිබූ හිතුවක්කාර ක්‍රීඩා ශෛලිය නොවන්නට ඔහු නමින් ලියවුණු බොහෝ වාර්තා මීට වඩා උසස් මට්ටමක තිබෙන්නට තිබුණි. 80 – 90 දශකවල ක්‍රිකට් පිටියේ වැජඹුණු බොහෝ පන්දු යවන්නන් ඔහුගේ ප්‍රහාරයන් හමුවේ දණින් වැටුණ බව එකල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගත් උදවියට අමුතුවෙන් කියන්නට උවමනා නැත.

අද අපේ ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකාව බිහි කළ අද්විතීයම පිතිකරුවා පින්නදූවගේ අරවින්ද ද සිල්වා කේන්ද්‍ර කරගෙනයි.

ඔහු 1960 දශකයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට දඟපන්දු යවන්නෙකි. පිටිය ඇතුළේ අතිශයින්ම තරගකාරී ක්‍රීඩකයෙකි.

70 දශකයේ මුල දිනයක මෙකී ක්‍රිකට් ක්‍රීඩකයා සිය සමීප මිතුරෙකු හමුවීමට ඔහුගේ නිවසට ගියේය. සිය මිතුරාගේ හය හැවිරිදි පුත්‍රයා ක්‍රිකට් පිත්තක් අතේ තබාගෙන ඉතා ක්‍රියාශීලීව නිවස වටේටම දිව යන ආකාරය ක්‍රිකට් ක්‍රීඩක මිත්‍රයා හොඳින් නිරීක්ෂණය කළේය.

කුඩා දරුවාගේ ක්‍රිකට් හැකියාව කෙසේ දැයි පරීක්ෂා කර බැලීමට සිතූ ඔහු අසල තිබූ ටෙනිස් පන්දුවක් කුඩා දරුවා වෙත යොමු කළේය.

කුඩා දරුවා පෙර පාදය ඉදිරියට තබා එල්ල කළේ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකි. හිස නිසි පරිදි පවත්වා ගනිමින්, කල් යල් මැන එල්ල කළ පහරේ තාක්ෂණය ඉතා ඉහළය.

අබු ෆුවාඩ් නම් ශ්‍රී ලාංකේය ක්‍රිකට් දැවැන්තයාට අරවින්ද ද සිල්වා මුල් වරට මුණ ගැසෙන්නේ එසේය.

මගේ අම්මයි තාත්තයි දෙන්නා සමාජශීලී උදවිය. ඒ සමාජශීලී බව නිසා ඔවුන් සමාජයේ සෑහෙන ජනප්‍රිය චරිත දෙකක් වුනා. ඔවුන් සතු ජනප්‍රිය බව කුඩා කාලයේ ඉඳලම මගේ ක්‍රිකට් ජීවිතයට විශාල පිටිවහලක් වුනා කිව්වොත් වැරදි නැහැ.

අබු ෆුවාඩ් මහත්මයා මගේ තාත්තාගේ යාළුවෙක්. ඔහු තාත්තා හමුවීමට, රාත්‍රි ආහාරයට ඉඳහිට අපේ නිවසට එනවා.

කුඩා අරවින්ද පියා සෑම්, මව ඉන්ද්‍රානි සහ සහෝදරිය අරලියා සමඟ

එහෙම තාත්තා මුණ ගැහෙන්න ආපු දවසක ඔහු මගේ ක්‍රිකට් හැකියාව පරීක්ෂා කරලා බලන්න තීරණය කරලා තිබුණා. මට යම් කිසි ක්‍රිකට් හැකියාවක් ඇති බව මුලින්ම හඳුනා ගත් කෙනෙක් ෆුවාඩ් මහත්මයා.

එදා ඔහු එවපු පන්දුවට එල්ල කළ පහර දැකලා ෆුවාඩ් මහත්මයා සෑහෙන පැහැදුණා.

‘පුතාගෙන් ඉතාම දක්ෂ පිතිකරුවෙකුගේ ලක්ෂණ පේනවා. පුළුවන් තරම් ඉක්මනින් හොඳ කෝච් කෙනෙක් ගාවට යැව්වොත් හොඳයි.’ ෆුවාඩ් මහත්මයා මගේ දෙමාපියන්ට ඔහුගේ රෙකමදාරුව දුන්නා.”

ඉහත කී රෙකමදාරුව උපතින් රැගෙන ආ අසාමාන්‍ය සහජ හැකියාවක් ක්ෂණිකව හඳුනා ගැනීමකි.

“මම මුලින්ම ක්‍රිකට් ඉගෙන ගත්තේ තාත්තාගෙන්. ඔහු දන්නා හැමදේම මට හරියටම කියලා දීලා තිබුණා.

තාත්තා ක්‍රිකට් වලට විතරක් නෙවෙයි අනෙක් හැම ක්‍රීඩාවකටම යන්න මාව දිරිමත් කළා. ඔහුත් තරුණ කාලයේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු හොඳ දුවන්නෙක්. ඔහු ඉගෙනීමට කල්කටාවට ගිය කාලයේ යාර 880 ඉසව්ව නිරන්තයෙන් ප්‍රගුණ කළ කෙනෙක්. ඒ වගේම විනෝදයට බර කෙනෙක්.

මුලින්ම ක්‍රිකට් බැට් එකක් අල්ලන්න පුළුවන් දවසේ ඉඳලා ඒක මගේ ජීවිතේ කොටසක් වුනා. බැට් එක අතේ නැතුව ඇවිදින්න බැරි තැනට මම ඒකට ඇබ්බැහි වුනා.

ශරීර ප්‍රමාණයෙන් කුඩා මට ක්‍රීඩාවට උචිත කාය ශක්තිය ලබා දෙන්න පෝෂණීය ආහාර ලබා දෙන්න තාත්තා නිතරම උත්සුක වුනා. කිරි ආහාර ඒ අතර ප්‍රධාන වුනා.

මම පොඩි දවස්වල තාත්තා එකපාර ටෙනිස් බෝල අටක් විතර එක එක කෝණවලින්, විවිධ උස් මට්ටම් වලින්, වේගයෙන් සහ සෙමින් මා වෙත විසි කරනවා. ඉතාම කුඩා කාලයේ මට කළ මේ ව්‍යායාම පස්සේ කාලෙක ක්‍රීඩා කරද්දී පන්දුව ඉක්මනින් දර්ශනය කරගන්න මට සෑහෙන උදව්වක් වුනා.”

70 දශකයේ මුල කාලය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එක්තරා සුවිශේෂී කාලවකවානුවකි.

කලකට පෙර ගාල්ලේ සිට රත්මලානට පදිංචියට පැමිණි සෑම් ද සිල්වා මහතාට මේ කාලය වැදගත් වුනේ පාසල් යන වියට එළඹ සිටි තම පුත්‍රයාට සුදුසු පාසලක් තෝරා ගැනීමට සිදුව තිබුණ නිසාවෙනි.

වසර කිහිපයකට පෙර ආරම්භ කළ කොළඹ ඩී. එස් සේනානායක විදුහල ගැන ඔහුට තිබුණේ විශාල පැහැදීමකි.

ඩී. එස් සේනානායක විදුහලේ මූලාරම්භකයා වූ රැල්ෆ් ඉග්නේෂස් තෝමස් අලස් තරුණ විදුහල්පතිවරයා ගැන සෑම් ද සිල්වා මහත්මයාට තිබුණේ මහත් කැමැත්තකි. තරුණ විදුහල්පතිවරයා, සිල්වා මහත්මයා ඉගනුම ලැබූ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහලේම ආදිශිෂ්‍යයෙකි.

ඒ නිසාම තමන්ගේ පුත්‍රයා එවකට ඉගනුම ලබමින් සිටි ඉසිපතන විද්‍යාලයෙන් ඉවත් කොට ඩී. එස් සේනානායක විදුහලට එක් කරන්නට සිල්වා මහතා තීරණය කළේය.

සෑම් ද සිල්වා මහතා පෙරට පැමිණ සිය පුත්‍රයා ඩී. එස්. සේනානායක විදුහලට ඇතුළත් කිරීමත් බොහෝ දෙමාපියන් විශ්වාසයෙන් පෙරට පැමිණ තම දරුවන් අලුත් පාසලට බාර කළහ.

කොළඹ ඩී. එස්. සේනානායක විදුහලට කීර්තිමත්, ආඩම්බරකාර පුත්‍රයෙකු ලැබෙන්නේ ඒ ආකාරයෙනි.

කුඩා අරවින්ද පාසල් එන්නට රත්මලානෙන් පිටත් වන්නේ උදේ 5.30 වෙද්දීය.

පාසල ආරම්භ කිරීමට පෙර පැයක් හෝ දෙකක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම ඔහුගේ මූලික අරමුණු අතර වෙයි.

ඒ සෑම දිනකම ඔහුට අභියෝගයක් තිබේ. පාසල ආරම්භ කිරීමට පළමු සීනුව නාද කිරීමට පෙර ලකුණු 100 මායිම පැන ගැනීම කුඩා අරවින්දගේ දෛනික අභියෝගයයි.

අරවින්ද ගේ පා ඉන්න දෙසින් ස්කෙවෙයාර් ලෙග් කලාපයේ හතරේ සීමාවට ඇත්තේ කෙටි දුරකි. ඒ නිසාම ඔහු එල්ල කරන පුල් පහරවල්, හුක් පහරවල් හතරේ  සීමාව පසු කර යන්නේ නිරායාසයෙනි.

පසුකලෙක අරවින්ද ජාත්‍යන්තර තලයේ දී ලෝ පතල පන්දු යවන්නන් තඹ දොයිතුවකට හෝ මායිම් නොකරමින් පුල් පහරවල්, හුක් පහරවල් එල්ල කළේ ද පාසල් ක්‍රීඩා පිටියේ එල්ල කළ ආකාරයෙන්ම නිරායාසයෙනි.

කුඩා අරවින්දට ක්‍රිකට් ක්‍රීඩාවටම ගැළපෙන අපූරු අසල්වැසි මිත්‍රයෙක් සිටියේය. මේ කුඩා මිත්‍රයාගේ නම රොෂාන් සිරිවර්ධන මහානාම ය.

පසුකලෙක මේ ගජ මිතුරන් දෙදෙනා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ භාග්‍යය ලැබූහ. නමුත් කුඩා දරුවන් දෙදෙනාගේ සම්බන්ධතාවය රත්මලානේ පටු පාරක තරගකාරීව වීදි ක්‍රිකට් ගැසූ කාලය සහ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලි රූපවාහිනිය ඔස්සේ නැරඹීම දක්වා අතීතයක ඇදී ගියේය.

අරවින්ද කුඩා කාලයේ වැදගත් ක්‍රිකට් තරගයකට යෑමට පෙරාතුව මහානාම නිවසට ගොස් රොෂාන් සතුව තිබූ පිත්තක් රැගෙන යාමට පුරුදුව සිටි බව කියවේ.

මැනවින් පදම් කර තිබූ ඒ ‘ග්‍රේ නිකලස්’ වර්ගයේ පිත්ත රොෂාන්ගේ පියා, උපාලි මහානාම මහතා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර ව්‍යාපාරික සංචාරයකට ගොස් පැමිණෙද්දී ගෙනා එකක් බවත් ඒ සමඟම කියවේ.

අරවින්දගේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමානුකූලව සහ තාක්ෂණානුකූලව හැඩ ගැහුණේ W.A.N සිල්වා, චාලී වර්ණකුලසූරිය සහ වෝල්ටර් පෙරේරා යන පුහුණුකරුවන් යටතේය.

අරවින්ද ගේ පවුලේ සාමාජිකයින් අරවින්ද ක්‍රීඩා කරන තරගයක් රූපවාහිනිය ඔස්සේ නරඹමින්

ක්‍රිකට් ගහන්න පටන් ගන්න ඕන දරුවෙක්ට මුලින්ම උගන්නන දේ තමයි ඉදිරි පාදයේ ආරක්ෂිත පහර. මට මතකයි අනෙක් ෂොට්ස් ඔක්කොම ගැහුවත් මට මුලින්ම ෆෝවඩ් ඩිෆෙන්ස් එක ගහන්න සෑහෙන අමාරු වුනා. නමුත් ක්‍රමානුකූලව ඔවුන් මාව හොඳට පුරුදු පුහුණු කළා.”

පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමෙන් අනතුරුව ඉතා කුඩා වයසේ දී ම NCC කණ්ඩායම හා එක්වන්නට කුඩා අරවින්දට හැකියාව ලැබුණි.

රංජිත් ප්‍රනාන්දු මහත්මයා තාත්තාගේ යාළුවෙක්. එතුමා තමයි තාත්තාට කිව්වේ මාව NCC කණ්ඩායම හා සම්බන්ධ කරන්න කියලා. මාව හොඳින් රැකබලා ගත යුතුයි කියන කොන්දේසිය පිට තමයි ප්‍රනාන්දු මහත්මයා ගේ ඉල්ලීමට මගේ අම්මා එකඟ වුනේ.

ඇත්තටම මම රංජිත් ප්‍රනාන්දු මහත්මයාට සලකන්නේ දෙවැනි පියෙක් ලෙසයි. වැඩිහිටි ක්‍රීඩකයින් අතරේ එතරම් හොඳින් මාව රැක බලා ගත්තේ එතුමා.”

වයස අවුරුදු 13ක් පමණ වෙද්දී පාසලේ පළමුපෙළ කණ්ඩායම නියෝජනය කරන්නට කුඩා අරවින්දට අවස්ථාව ලැබුණි.

ඒ දවස්වල මම ගහන පාරවල් ගොඩක් නැවතුණේ අලස් සර්ගේ නිල නිවසේ වහල උඩට. ඒක උළු වහලක්. ඉතින් පන්දුව වැදුනාම වහලේ උළුවලට වෙන හානිය වැඩියි. නමුත් කවදාවත් අලස් සර් ඒ ගැන චෝදනා මුඛයෙන් කතා කළේ නැහැ මාව තව තවත් දිරිමත් කළා මිසක.

මම කවදාවත් වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානය දිනගෙන නැහැ. මම ඒ ගැන කනගාටු වුනත්, මගේ තාත්තා කිව්වේ ක්‍රිකට් කියන්නේ සම්මාන, කුසලාන විතරක් නෙවෙයි කියලා. ක්‍රීඩාවෙන් විනෝද වීමයි වැදගත් කියලා.

ඒ වගේම තමන්ට කියලා වෙනම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න එකත් සෑහෙන වටිනවා. ක්‍රිකට් ගහන්න පටන් ගත්ත දවසේ ඉඳලා ජාතික කණ්ඩායමට එනකල් සහ ක්‍රිකට් ගහලා ඉවර වෙනකල් මගේ ඒ අනන්‍යතාවය මම වෙනස් කර ගත්තේ නැහැ.”

අරවින්ද ද සිල්වාගේ චරිතාපදානය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<