පැදුරටත් නොකියා පලාගිය ඕස්ට්‍රේලියානුවා!

10286
COLOMBO - FEBRUARY 17: Damien Martyn of Australia in action during the practice match between Australia and the President's XI played at Moratuwa Sports Club on February 17, 2004 in Colombo, Sri Lanka. (Photo by Hamish Blair/Getty Images)

2006 වසරේ දෙසැම්බර් පස්වැනිදා සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් අනර්ඝ ජයක් ලබන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා. එවර අළුබඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයයි ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී එලෙස නිමාව දුටුවේ.

2005 එංගලන්තයේ පැවති අළුබඳුන තරගාවලිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්වුනා. ඒ නිසාම නැවත එංගලන්ත කණ්ඩායම අළුබඳුන තරගාවලියක දී හමුවන තුරු ඕස්ට්‍රේලියානුවන් මග බලාගෙන හිටියේ කලින් පරාජයේ වාඩුව ගන්න.

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියානුවන් ලද ජයග්‍රහණය මුළු ක්‍රිකට් ඉතිහාසයේම සුවිශේෂී ජයග්‍රහණයක්.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 551ක් රැස් කළා.  නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ඉනිම අත්හිටුවන විට එංගලන්ත කණ්ඩායමේ දැවී ගොස් තිබුණේ කඩුලු 6ක් පමණයි.

ඕස්ට්‍රේලියානුවන්ගේ පිළිතුරු ඉනිමත් එංගලන්ත කණ්ඩායමට දෙවැනි වුනේ නැහැ. ඔවුන් තමන්ගේ පළමු ඉනිමට ලකුණු 513ක් රැස් කළා.

තරගයේ පස්වැනි දිනය ඇරඹෙන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.

මේ තරගය ජය පරාජයෙන් තොරව නිමාව දකින බවට කිසිම සැකයක් තිබුණේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියානු කඳවුරේ සිටි ක්‍රීඩකයෙකු තවමත් තමන්ට තරගය ජයග්‍රහණය කළ හැකි බව විශ්වාස කළා. ඔහු තමයි ෂේන් වෝන්.

ෂේන් වෝන් කඩුලු හතරකට වග කියද්දී, එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 9 දැවී ගියේ ලකුණු 70කට.

තරගයේ අවසාන දිනයේ එක්දින තරගයක මෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කඩුලු හතරක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

මේ වෙද්දී තරගාවලියේ 2-0ක් ලෙසින් ඉදිරියෙන් හිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම. අළුබඳුන නැවත දිනා ගන්නට ඔවුන්ට දැන් තව එක තරගයක් පමණයි ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙන්නේ.

මේ සුවිශේෂී ජයග්‍රහණයෙන් දින කිහිපයක් ගෙවෙන තැන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට දැනගන්න ලැබුණේ ඔවුන් මවිත කරවන අන්දමේ පුවතක්.

‘ඩේමියන් මාර්ටින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහ පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ සමුගන්නා බව නිවේදනය කරයි’

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් පවා මේ ප්‍රවෘත්තියෙන් ගැස්සී ගියා. මොකද මාර්ටින් තමන්ගේ කණ්ඩායමේ සගයන් පවා කලින් දැනුවත් කරලා තිබුණේ නැහැ.

මාර්ටින් කිසිවෙකුට කතා නොකළත්, කෙටි පණිවුඩයක් ලෙසින් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව දන්වා තිබුණා.

මාර්ටින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවෙන්. තෙවැනි අළුබඳුන ටෙස්ට් තරගය ඇරඹෙන්න නියමිත වෙලා තිබුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් වැකා ක්‍රීඩාංගණයේ දී. සමුගන්නට අවශ්‍යම නම් තමන්ගේ ප්‍රාන්තයේ ක්‍රිකට් ලෝලීන් ඉදිරියේ එය නොකරන්නේ ඇයි ද කියලා ප්‍රශ්නෙකුත් ඒ වෙලාවේ ආවා.

මෙහෙම ක්‍රීඩාවෙන් සමුගන්නවා කියපු මාර්ටින් ගැන ඊළඟ සති කිහිපයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සගයන්ට කිසිම තොරතුරක් අහන්න ලැබෙන්නේ නැහැ.

මාර්ටින්ගේ හදිස්සි තීරණය ගැන විවිධ කට කතා නිර්මාණය වුනා.

බොහෝ දෙනා කිව්වේ මාර්ටින් රටෙන් පිටවෙලා කියලා. තවත් වාර්තාවලින් කියවුණේ මාර්ටින් මොකක් නමුත් කාරණාවකට හැංගිලා ඉන්නේ කියලා. තවත් සමහරු කිව්වේ ඇඩිලේඩ් තරගය ඉවර වෙච්ච දවසේ රෑ මැතිව් හේඩ්න් එක්ක ගියපු වලියක් මේ තීරණයට මුල් වුනා කියලා.

කොහොම වුනත්, සති කිහිපයකින් මාර්ටින් ආපහු කරළියට ආවා.

මට මගේ කණ්ඩායමේ සගයන් අපහසුතාවයකට පත් කරන්න බෑ. මගේ දස්කම් උසස් මට්ටමක නෑ. ඉතින් මම හිතුවා මේක තමයි අයින් වෙන්න හොඳම වෙලාව කියලා.

මට දිගටම ක්‍රීඩා කළා නම් සිඩ්නි ක්‍රීඩාංගණයේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරලම සමුගන්න තිබුණා. නමුත් මේ විදියට දිගටම ක්‍රීඩා කරලා මට කණ්ඩායමේ ඉන්න මගේ මිත්‍රයින් අමාරුවේ දාන්න බෑ”

මාර්ටින් රූපවාහිනී සාකච්ඡාවකට එකතු වෙමින් කිව්වා.

“රිකී පොන්ටිං කියන්නේ ඔබේ නායකයා, ඔබේ හොඳම මිත්‍රයා, ඔබේ විවාහයේ දෙවැනි මනමාලයා. ඇයි ඔහුටවත් කිව්වේ නැත්තේ?” රූපවාහිනී නිවේදකයා මාර්ටින්ගෙන් එවලේ ප්‍රශ්න කළා.

පන්ටර් (රිකී පොන්ටිං) මගේ යාළුවා තමයි. ඒත් ඔහුට කිව්වා නම් මට මේ වැඩේ කරන්න ලැබෙන්නේ නෑ. ඔහු මගේ හිත කොහොම හරි වෙනස් කරයි. ඔහුට කතා කරන්න ඕන වුනේ නැත්තේ මම අනිවාර්යයෙන්ම ඔහු ඉදිරියේ කඩා වැටෙන්න ලොකු ඉඩක් තිබුණ නිසා.

එදා රෑ හේඩොස් (මැතිව් හේඩ්න්) එක්ක ගැටුමක් ගියා කියන එකත් බොරු කතාවක්. මේවා කොහොම එනවා ද කියන්න මම දන්නේ නෑ. එදා රෑ කිසිම අවුලක් වුනේ නම් නෑ.

මට වගේම අනිත් අයටත් ඕන වුනේ අළුබඳුන දිනා ගන්න. අනිත් සගයන්ට කතා කරලා මේ වෙලාවේ ඔවුන් අවුල් කරන්නත් මට ඕන වුනේ නෑ. ඒකයි මම සද්ද නැතුවම අයින් වුනේ.”

ඩේමියන් මාර්ටින් යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ කැපී පෙනෙන පුරුකක්. කොහොම වුනත්, රිකී පොන්ටිං, ස්ටීව් වෝ, මැතිව් හේඩ්න්, ජස්ටින් ලැන්ගර්, මාක් වෝ හෝ ඇඩම් ගිල්ක්‍රිස්ට් වගේ ඉදිරියෙන්ම කියවෙන නමක් නෙවෙයි ඩේමියන් මාර්ටින් කියන්නේ.

මාර්ටින් ඇසට ඉතාම දැකුම්කළු පිතිකරුවෙක්. කල් යල් මැන පන්දුවට පහර දෙන්න රුසියෙක්.

මාර්ටෝ (ඩේමියන් මාර්ටින්) කියන්නේ අපේ පරම්පරාවේ සෑහෙන අවතක්සේරුවට ලක් වෙච්ච පිතිකරුවෙක්,” ඇඩම් ගිල්ක්‍රිස්ට් තමන්ගේ චරිතාපදානයේ මාර්ටින් ගැන ලිව්වේ එහෙම.

මාර්ටින්ගේ තරග දිවිය ගැන කතා කරද්දී 2003 ලෝක කුසලාන අවසන් මහා තරගය අමතක කරන්න බෑ. තමන්ගේ හොඳම මිත්‍රයා රිකී පොන්ටිං එක්ක ලකුණු 234ක නොබිඳුන සම්බන්ධතාවයක් පවත්වන්න එදා මාර්ටින් සමත් වෙනවා. මේ දැවැන්ත සම්බන්ධතාවය නිසා සිය පන්දුවාර පනහ අවසානයේ ලකුණු 359ක දැවැන්ත ඉලක්කයක් ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායමට ලබා දෙන්න ඕස්ට්‍රේලියාව සමත් වෙනවා.

2004 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවේ දී අවුරුදු 30කට පස්සේ තරගාවලි ජයග්‍රහණයක් ලබනවා. මේ තරගාවලියේ වීරයා වෙන්නේ මාර්ටින්. තරග හතරක දී ශතක දෙකක් එක්ක මාර්ටින් රැස් කරපු ලකුණු සංඛ්‍යාව 444ක්.

2006 වසරේ ඉන්දියාවේ පැවැත්වුණ ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කරන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල දායකත්වයක් දුන්න ක්‍රීඩකයෙක් විදියටත් මාර්ටින් ඉදිරියෙන්ම ඉන්නවා.

හැබැයි මාර්ටින් කියන්නේ කිසිම වෙලාවක ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ වගේම ටිකක් අමුතු පහේ මනුස්සයෙක්. ඔහුගේ සමුගැනීමත් ඒ වගේ එකක්.

මම මාර්ටෝ දන්නේ පොඩිම කාලේ ඉඳලා. ඒ  දවස්වල ඉඳලම ටිකක් අමුතු තාලයේ ගතිගුණ ඔහුට තිබුණේ. ඔහු හිතා ගන්න බැරි තරම් දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි මාර්ටෝ සමුගන්න බව මමවත් දැනගෙන හිටියේ නෑ,” මාර්ටින් සමඟ දීර්ඝ කාලයක් වැඩ කළ බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු වේන් ක්ලාක් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<