වැලිකතරේ ශූරයෝ, ශ්‍රී ලංකා සින්දාබාද්!

1103

දවස 1995 වසරේ ඔක්තෝබර් 20 වැනිදා. කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණය හා ඔරුගොඩවත්ත බොරතෙල් අංගණය ඉලක්ක කරගෙන දමිළ ඊලාම් ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාරයක් එල්ල කළේ මේ කියන දවසේ ඉර එළිය වැටෙන මොහොතේ.

මේ අවාසනාවන්ත දවස උදා වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිටියේ සාජා නුවර. පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තුන්කොන් තරගාවලියකට එක් වෙමින්. මේ තරගාවලිය නම් වෙලා තිබුණේ සිංගර් ශූරයින්ගේ කුසලානය ලෙසින්.

මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම. තරගාවලියේ අවසන් මහා තරගය ඇරඹෙන්න හෝරා කිහිපයකට කලින් තමයි ඉහත කී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මුළු කොළඹ නගරයම කම්පනයට පත් වෙන්නේ.

  • රොෂාන් මහානාම අනර්ඝ පිතිහරඹයක.

තරගාවලිය ඇරඹුණේ ඔක්තෝබර් 11 වැනිදා ශ්‍රී ලංකාවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් අතර තරගය සමඟ.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායක රිචී රිචර්ඩ්සන් පළමුවෙන් පන්දුවට පහර දීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

කොදෙව් කණ්ඩායම මේ තරගාවලියට ආවේ ඔවුන්ගේ අතිදක්ෂ වේගපන්දු යවන්නන් දෙදෙනා කර්ට්ලි ඇම්බ්‍රෝස් සහ කර්ට්නි වෝල්ෂ් නැතුව. අත්දැකීම් රහිත කොදෙව් වේගපන්දු බලඇණියට නායකත්වය දෙන්න වෙලා තිබුණේ ඉයන් බිෂොප්ට.

ඉතාම ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කරපු රොෂාන් මහානාම එදා ශතකයක් වාර්තා කරගන්නවා. ඉනිම අවසාන හරියට වෙද්දී මස්පිඬු පෙරළීමකට ලක්වුණ මහානාම වෙනුවෙන් සහායක දුවන්නෙක් ලෙස එන්නේ සනත් ජයසූරිය. නායක අර්ජුන රණතුංග මහානාමට මනා සහයෝගයක් දෙමින් වේගවත් අර්ධ ශතකයක් ලබා ගන්නවා.

මහානාම තමන්ගේ එක්දින තරග දිවියේ ලබා ගත් හතරවැනි ශතකය තමයි එදා වාර්තා කර ගන්නේ.

කොදෙව්වන් ශ්‍රී ලංකා කණ්ඩායම දීපු ඉලක්කය පහසුවෙන් හඹා යන ආකාරයක් පෙන්නුම් කළා. නමුත් එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ෂර්වින් කැම්බල් මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවකට මිඩ්විකට් කලාපයේ සිටි කුමාර් ධර්මසේනගේ අතට උඩපන්දුවක් ලබා දී දැවී යෑමත් සමඟ කොදෙව් ඉනිම සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

Figure 1රොෂාන් මහානාම සිය ශතකය වාර්තා කර ගත් අවස්ථාව.

ඉවසිලිමත් ශතකයක් වාර්තා කළ රොෂාන් මහානාම තරගයේ වීරයා බවට පත් වුනා.

  • අමිහිරි පරාජයන් දෙකක් සහ ටෝනි ග්‍රේග් නම් ප්‍රේමවන්තයා බිහිවේ

කොදෙව්වන් සමඟ තරගයෙන් සාර්ථක ආරම්භයක් ගත්තත් ඊළඟට පැවති තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුනා.

එවකට ලෝක ශූරයින් වෙච්ව පාකිස්තානුවන් ඉතාම පහසුවෙන් අපිව පරාජයට පත් කළා. ආමිර් සොහේල්, ඉන්සමාම් උල්හක් සහ සලීම් එළාහි එදා අර්ධ ශතක වාර්තා කර ගත්තා.

මේ පරාජයන් දෙකෙන් අදටත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් බොහොම කනස්සල්ලෙන් කතා කරන තරගය තමයි ඊළඟට තිබුණේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර පනහ නිමාවේ දී කඩුලු හතකට ලකුණු 333ක් ලබා ගන්නවා.

අතිරමණීය ඉනිමක් ක්‍රීඩා කරන බ්‍රයන් ලාරාගේ පිත්තෙන් ලකුණු 169ක්. හයේ පහර හතරක් සහ හතරේ පහර පහළොවක් වාර්තා වූ ලාරාගේ ඉනිමට ඔහු වැය කළේ පන්දු 129ක් පමණයි. ලාරා දවා ගැනීම අවස්ථා හතරක් විතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුනත්, ඒවා සාර්ථක කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

මේ කියන දවස්වල එක්දින තරගයක ලකුණු තුන්සීයක් රැස් කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලෙහෙසියෙන් තමන්ට ලබා දුන් අභියෝගය අතහරින්න සූදානම් වුනේ නැහැ.

සනත් ජයසූරියට මෙවරත් සාර්ථක ආරම්භයක් ලබා ගන්න නොහැකි වුනත්, රොෂාන් මහානාම පන්දු 78කින් ලකුණු 76ක් ලබා ගන්නවා. මහානාම එක් අන්තයක පහර දෙන අවස්ථාවේ අනෙක් අන්තයෙන් අරවින්ද ද සිල්වා සහ පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලැබූ රොමේෂ් කළුවිතාරණ වේගයෙන් ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවනවා.

මේ ලකුණු සංඛ්‍යාව හඹායෑම කිසිම ආකාරයකින් ලේසි වුනේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු කිහිපයක් එක පෙළට බිඳ වැටෙන්නේ මේ අවස්ථාවේ දී.

ලකුණු 103කට කඩුලු පහක් දැවී ගිහින් අසරණ වෙච්ච අවස්ථාවක රොෂාන් මහානාමට එකතු වෙන්නේ හෂාන් තිලකරත්න. ඔවුන් දෙදෙනා ක්‍රම ක්‍රමයෙන් ගරා වැටුණ ඉනිම ගොඩ නංවනවා.

නොම්මර හත පිතිකරුවා විදියට පිටියට ආපු තිලකරත්න එදා අනර්ඝ ශතකයක් වාර්තා කරගන්නවා. චන්දික හතුරුසිංහ සහ කුමාර් ධර්මසේනගේ වේගවත් ඉනිම් ඔහුට ලබා දෙන්නේ විශාල රුකුලක්.

තරගයේ අවසාන පන්දුවාරය ඇරඹෙන කොට ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් වෙනුවෙන් අවශ්‍ය ලකුණු 8ක්. අවාසනාවකට ඔවුන් අතේ තිබුණේ එකම එක කඩුල්ලක් විතරයි.

ඇන්ඩර්සන් කමින්ස් පන්දු යැවීමට සූදානම්. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පිතිකරණ අන්තයේ. අනෙක් අන්තයේ සිටින හෂාන් තිලකරත්න ලකුණු 98ක් ලබාගෙන.

කමින්ස් යැවූ මුල්ම පන්දුවට වික්‍රමසිංහ ඉතා තියුණු ලකුණක් ලබා ගන්නවා.

දැන් ජයග්‍රහණයට පන්දු පහකින් ලකුණු හතක් අවශ්‍යයි. ඊළඟ පන්දුව මිඩ් විකට් කලාපයට එල්ල කරමින් ලකුණු දෙකක් ලබාගෙන තමන්ගේ ශතකය වාර්තා කරගන්න තිලකරත්න සමත් වෙනවා.

දැන් පන්දු හතරකින් ලකුණු පහයි. මේ අවස්ථාවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා උඩ පනිමින් සතුට ප්‍රකාශ කරමින් සිටින බව විස්තර විචාරයේ යෙදී සිටි ටෝනි ග්‍රේග් උද්දාමයෙන් ප්‍රකාශ කරනවා.

ටෝනි ග්‍රේග් ශ්‍රී ලාංකිකයින් ගේ සටන්කාමී ක්‍රීඩා විලාශය ඉතා ඉහළින් අගය කරන්න ගත්තේ මේ තරගාවලියෙන් පස්සේ. එතන ඉඳන් හැමදාම ටෝනි ග්‍රේග් ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තේ හිටගත්තා.

පා ඉන්න පැත්තෙන් එල්ල වෙන කමින්ස්ගේ ඊළඟ පන්දුවට තිලකරත්න ඉහළින් වේගවත් පහරක් එල්ල කරනවා. අවාසනාවකට තිලකරත්න එල්ල කළ පහර නවතින්නේ ස්ක්වෙයාර්-ලෙග් කලාපයේ හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ස්ටුවර්ට් විලියම්ස්ගේ අතේ උඩපන්දුවක් ලෙසින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයෙන් තියුණු පරාජයක් ලබද්දී පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ පදිංචිව සිටි අයෙක් හෘදයාබාධයකින් මිය ගියා. සිය පුත්‍රයා සමඟ තරගය නරඹමින් සිටි ඔහු තරගය අවසන් වෙද්දී ක්ලාන්තය හැදී වැටුණ බවයි පැවසුණේ. කොළඹ මහා රෝහලට ගෙන එන අතරවාරයේ ඔහු මියගොස් තිබුණා.

  • පාකිස්තානයේ පන්දම් නායකයා.

මූලික වටයේ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සම්පූර්ණ අණසකට නතු වූ මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායමට ලබා ගත හැකි වුනේ ලකුණු 143ක් පමණයි.

අරවින්ද ද සිල්වා, සක්ලේන් මුෂ්ටාක්ගේ පන්දුවකට එල්ල කළ හයේ පහරත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

මේ පරාජය සාජා නුවර වෙසෙන බහුතරයක් පාකිස්තානු ප්‍රේක්ෂකයින් ගත්තේ යහපත් ආකාරයකින් නෙවෙයි.

මේ තරගයේ දී පාකිස්තානු නායක රමීස් රාජා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ක්‍රීඩාගාරයට එද්දී ප්‍රේක්ෂකයින් පන්දම් නායකයා කියමින් කෑගසමින් අවලාද නගන්නට වුනා. එමෙන්ම පාකිස්තානය නැවත මව්බිමට යන ගුවන් යානයේ අංකය කියමින් ඔවුන් සරදම් කළා.

  • ඇන්ඩි රොබර්ට්ස් සහ උඩඟු කතා.

මේ තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළේ හිටපු ක්‍රීඩක ඇන්ඩි රොබර්ට්ස්.

ඔහු වරක් පැවසුවේ තමන්ගේ ප්‍රබල ක්‍රීඩකයින් සාජා නුවරට නොපැමිණි නමුත් කුසලානය ජයග්‍රහණය කරන එක ඔවුන්ට අභියෝගයක් නොවන බවයි.

ඇන්ඩි රොබර්ට්ස්ට කදිම පාඩමක් උගන්වමින් ලකුණු පනහකින් අවසන් මහා තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

නැවත වතාවක් ක්‍රියාත්මක වූ රොෂාන් මහානාම අගනා අර්ධ ශතකයක් වාර්තා කළ අතර අරවින්ද ද සිල්වා පන්දු 35කින් වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්තා. අරවින්දගේ මේ ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානය දිනා දෙන්න සමත් වුනා.

Figure 2තරගාවලියේ වීරයා සහ හොඳම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගන්නා රොෂාන් මහානාම.

තරගාවලියේ වීරයා සහ හොඳම පිතිකරුවා ලෙස තේරුණේ තරගාවලිය පුරාවටම ලකුණු 288ක් රැස්කළ රොෂාන් මහානාම. හොඳම පන්දු යවන්නා ලෙස කුමාර් ධර්මසේන තේරුණා. මේක ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමෙන් පිට වාර්තා කර ගත් මුල්ම ප්‍රධාන පෙළේ ශූරතාවලි ජයග්‍රහණය වුනා.

1995 සිංගර් ශූරයින්ගේ කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යයක්.

මේ තරගාවලිය වාර්තා කරන්න ශ්‍රී ලංකාවෙන් සාජා නුවරට ගියපු ප්‍රවීණ මාධ්‍යවේදී රංජන් පරණවිතාන කිව්වේ, ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට අත පොවන මානයේ සිටින බව. මේක ඒ කාලේ හැටියට තරමක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැබැයි ඊට මාස කිහිපයකට පස්සේ ඒ ප්‍රකාශය සැබෑවක් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<