ඉන්දියාව, මැලේසියාව සහ නේපාලය සමඟ ශ්‍රී ලංකාව එකම කාණ්ඩයක

617
U19 Asia Cup

තරග කාලසටහන්, කාණ්ඩ සහ තරහ පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගන ඇතුලත් කරමින්, දෙසැම්බර් මස මැද ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිත 19න් පහල යොවුන් ආසියානු කුසලාන තරගාවලිය පිළිබද විස්තර ආසියානු ක්‍රිකට් සභාව විසින් පසුගිය දා මාධ්‍යයට අනාවරණය කරන ලදී.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා වේග පන්දුවේ අනාගතය ඉතා පැහැබර වීමේ ලකුණු පෙනෙනවා – වසීම් අක්‍රම්

කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත මෙම තරගාවලිය දෙසැම්බර් මස 15 වෙනිදායින් ආරම්භ වී, දෙසැම්බර් 25 වන දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසාන මහා තරගයත් සමඟින් නිමා වීමට නියමිතයි.

සත්කාරක ශ්‍රී ලංකාව, ගියවර ශූරයින් වන ඉන්දියාව ඇතුළුව මැලේසියාව සහ නේපාලය සමඟ A කාණ්ඩයෙන් තරහ වදිනා අතර පකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ සිංගප්පූරුව B කාණ්ඩය යටතේ තරග වදිනු ලබයි.

A කාණ්ඩයේ තරග 6ක් කොළඹ NCC, CCC සහ මොරටුව De Zoysa යන ක්‍රීඩාංගන වලද, B කාණ්ඩයේ තරග දකුණු පළාතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය සහ මග්ගොන සරේ ක්‍රීඩාංගනය, යන ක්‍රීඩාංගන වලද පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇත. අවසන් පූර්ව වටය සඳහා කාණ්ඩ දෙකේ සිටිනා දක්ෂතම කණ්ඩායම් යුගල තේරී පත්වනු ඇත.

සියලුම කාණ්ඩ තරග දෙසැම්බර් 15, 16 සහ 18 යන දිනයන් හිදී ද, අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් 20 සහ 21 යන දිනයන් වලදීද පැවැත්වීමට නියමිතයි.

2018 ICC 19න් පහල යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ඇති ඕනෑම ක්‍රීඩකයෙක් සඳහා මෙම තරගාවලියට සහභාගී විය හැකි අතර වමතින් සහ දකුණතින් දඟපන්දු යැවීමට හැකියාව ඇති ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කමිඳු මෙන්ඩිස්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ක්‍රීඩකයින් 19 දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රධාන පුහුණුකරු වන රෝයි ඩයස් මහතා යටතේ ඉතාමත් උද්යෝගයකින් යුතුව පුහුණුවීම් වල නිරත වෙන අතර 15 දෙනාගෙන් සමන්විත 19න් පහල ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය මෙම සතියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට