රෝයි නම් අයස්කාන්ත ඩයස්

416

ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච අනර්ඝතම පිතිකරුවා කවුද?

මේ ප්‍රශ්නයට උත්තර හොයාගෙන යද්දී මහාදේවන් සතාසිවම්, අනුර තෙන්නකෝන්, රෝයි ඩයස්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන ඔහොම නම්, ඔහොම උත්තර ගොඩාක් අපි ඉස්සරහට එනවා.

ඉලක්කම්, නොම්මරවලින් මනින්නේ නැතුව ගත්තොත් මේ හැම කෙනෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පෝෂණය කරන්න යහමින් දායක වෙච්ච උදවිය.

ඒ අතරින් රෝයි ඩයස් කියන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් සුවිශේෂී පිතිකරණ වාර්තා කිහිපයක් හිමි පිතිකරුවෙක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග රටා දෙකේ දී ම අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 1000 ඉක්මවා යෑමේ ගෞරවය සතුවන්නේ ඔහුටයි. රෝයි ක්‍රීඩාවෙන් සමු අරන් මෙච්චර අවුරුදු ගානක් ගිහින් තාම ඒ වාර්තාව සුරක්ෂිතයි.

අද අපේ කොලම වෙන් වන්නේ යුගයක් වර්ණවත් කළ ඒ අසහාය ක්‍රිකට් පුරාවෘත්තය රෝයි ඩයස් වෙනුවෙනුයි.

1952 වසරේ ඔක්තෝබර් 18 වැනිදා (අද වගේ දවසක) බැංකුකරුවෙක් ලෙස කටයුතු කළ රිචර්ඩ් ඩයස් සහ ජොයිස් ඩයස්ට දාව රෝයි ලූක් ඩයස් උපත ලබනවා. ඔහු උපත ලබන්නේ ක්‍රීඩාවට සෑහෙන ළැදිකමක් දැක්වූ පරිසරයක.

රෝයි ඉතා කුඩා අවධියේ ඔහුගේ පියා වත්තල ප්‍රදේශයෙන් නිවසක් මිල දී ගත් බැවින් රෝයිට මුලින්ම අකුරු කරන්න යන්න වෙන්නේ වත්තල සාන්ත අන්තෝනි විදුහලට.

පස්සේ කාලෙක ඩයස් පවුල වත්තල ඉඳන් ගල්කිස්ස ප්‍රදේශයට පදිංචිය මාරු කරනවා. ඒ නිසාම රෝයිටත් සිය පාසල මාරු කරන්න සිද්ධ වෙනවා. ගල්කිස්සේ පදිංචියට ආපු රෝයිට යන්න වෙන්නේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට.

රෝයිගේ පවුලේ සාමාජිකයින් පාපන්දු ක්‍රීඩාවේ අති දක්ෂයින්. ඒ බොහෝමයක් දෙනා එවකට පාපන්දු ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ උදවිය.

සාන්ත පීතර විද්‍යාලයට ආපු රෝයිට මුහුණ දෙන්න වුනේ අමුතුම තාලයේ ප්‍රශ්නයකට. පාපන්දු ක්‍රීඩාවට කොච්චර ආස වුනත්, සාන්ත පීතර විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමක් තිබුණේ නැහැ. එදා ක්‍රිකට් සහ රග්බි අතරින් ක්‍රීඩාවක් තෝරගන්න කුඩා රෝයිට සිදු වුනා. ඔහු තෝරගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව.

ලැඩී අවුස්කෝර්න්, මේජර් බී. ආර්. හයින් සහ දොස්තර එච්. අයි. කේ. ප්‍රනාන්දු යටතේ රෝයිගේ ක්‍රිකට් හැකියාව තවත් වැඩි දියුණුවට පත්වෙනවා.

රෝයි සිය මව සමඟ

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන දස්කම් දක්වපු රෝයි තමයි 1971 සහ 1972 වසර දෙකේ සාන්ත පීතර කණ්ඩායමේ පළමුපෙළ කණ්ඩායමේ නායකත්වය දරන්නේ.

ඔහුගේ පිතිකරණයේ මූලික අංග වූනේ කල් මැනීම, පිටියේ පන්දු රකින්නන් නැති හිඩැස්වලට පන්දුව ස්ථානගත කිරීම සහ වේග සහ දඟපන්දු යවන ක්‍රීඩකයින්ට එකසේ සාර්ථකව මුහුණ දීමයි.

පාසලෙන් පසුව ඔහු කෙළින්ම එකතු වන්නේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට. එහි දීත් රෝයිගේ පිත්ත හොඳින් ක්‍රියාත්මක වෙනවා.

ශ්‍රී ලංකාව තුළ නිරන්තරයෙන් කතාබහට ලක් වූ රෝයි ඩයස් නාමය මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ මුලින්ම කතාබහට ලක්වන්නේ 1979 වසරේ ICC කුසලාන තරගාවලිය තුළ දී කිව්වොත් වැරැද්දක් නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම ICC කුසලානය ජයග්‍රහණය කරන අවස්ථාවේ දී එම ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත් වුනේ රෝයි. ඒ තරග හතරක දී ලකුණු 214ක් ලබා ගනිමින්. එම වසරේ පැවති  ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වුනේ මේ අනර්ඝ ජයග්‍රහණය නිසාවෙන්.

1979 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියේ මැන්චෙස්ටර් නුවර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එවකට ටෙස්ට් තත්වය පවා ලබා සිටි ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කළා. මේ ජයග්‍රහණයට රෝයි ගේ දායකත්වය අගනා අර්ධ ශතකයක්.

1981 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්වය ප්‍රදානය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේ කීත් ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් මෙහි පැමිණි එංගලන්ත කණ්ඩායමට එරෙහිව. ඒ 1982 වසරේ පෙබරවාරි මාසයේ.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්වය පිරිනැමෙන විට රෝයි ඔහු පළමුපෙළ තරග විශාල සංඛ්‍යාවකට ක්‍රීඩා කළ පරිණත, ප්‍රවීණ ක්‍රීඩකයෙක් වෙලා හිටියේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ටෙස්ට් තරගයේ දී රෝයි ක්‍රීඩා කරන්නේ පිතිකරණ ලැයිස්තුවේ නොම්මර තුන ස්ථානයේ.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ බොබ් විලිස්ගේ පන්දුවකට ජෙෆ් කුක් උඩපන්දුවක් රැකගන්නා විට රෝයිගේ නම ඉදිරියෙන් එකඳු ලකුණක් හෝ සටහන් වුනේ නැහැ.

සිය දෙවැනි ඉනිම ආරම්භ කරන විට කලින් ඉනිමේ නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කළ රෝයි මැදපෙළට යවා ඒ වෙනුවට රංජන් මඩුගල්ලේ පිතිකරණ ලැයිස්තුවේ ඉහළට ගෙන එන්නට යෝජනාවක් ඉදිරිපත් වෙනවා.

නමුත් මඩුගල්ලේ ඒ යෝජනාවට එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ අනුව නැවතත් නොම්මර තුන ස්ථානයේ පිතිහරඹයේ යෙදෙන්න වෙන්නේ රෝයිට.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ අර්ධ ශතකයක් වාර්තා කරගත් රෝයි

මේ ඉනිමේ දීත් අසාර්ථක වුවහොත් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය එතන දී ම අවසන් වන බව දෙවැනි ඉනිමේ පන්දුවට පහර දීමට පිටිය මැදට යන රෝයි හොඳින්ම දැනගෙන හිටියා.

එලෙස යම් පීඩනයකින් පිටිය මැදට ගිය රෝයි දෙවැනි ඉනිමේ මනරම් ලකුණු 77ක් රැස් කරගන්නවා. මේ ඉනිමේ එක් අවස්ථාවක ඉයන් බෝතම්ට පිට පිටම හතරේ පහර තුනක් එල්ල කරන්න රෝයි සමත් වෙනවා.

1982 ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලිය රෝයිගේ පිත්ත සැරෙන් කතා කළ තරගාවලියක්.

ඉන්දීය එක්දින තරගාවලිය යටතේ පැවති තරග තුනේ දී රෝයිගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 262ක්.

ඉන්දීය තරගාවලියේ බැංගලෝර් නුවර පැවති තෙවැනි එක්දින තරගයේ දී ලකුණු 121ක් ලබා ගත් රෝයි ශ්‍රී ලාංකීය පිතිකරුවෙකු එක්දින තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළා.

එම වාර්තාව බිඳ වැටෙන්නේ සනත් ජයසූරිය අතින් 1994 මැන්ඩෙලා කුසලාන තරගයක දී බ්ලූෆොන්ටේන් නුවර දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140ක් ලබා ගැනීමත් සමඟ.

ශ්‍රී ලංකාව මුල්ම වරට ටෙස්ට් තරග‍යක් ජය ගන්නේ 1985 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී. මේ තරගයේ දී රෝයි අගනා අර්ධ ශතක දෙකක් රැස් කරගත්තා. මේ තරගයේ පළමු ඉනිමේ ඉතා විශ්වාසයෙන් පන්දුවට පහර දෙමින් සිටි රෝයි දැවී යන්නේ ශතකය පෙනෙන මානයේ අපරික්ෂාකාරී පහරකට යෑමෙන්.

සිංහල සමාජ ක්‍රීඩා පිටියේ පැවති තරගයේ දී ශතකයක් වාර්තා කර ගත් රෝයි ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගාවලි ජය ලබා දෙන්නට ස්ථාවර අඩිතාලම දැම්මා.

අවාසනාවකට ජයග්‍රාහී ඉන්දීය තරගාවලියෙන් පසු තමන්ගේ දක්ෂතා ස්ථාවර මට්ටමක රඳවා ගැනීමට රෝයි සමත් වුනේ නැහැ.

1987 වසරේ ඉන්දියාවේ සහ පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන් පැවති රිලයන්ස් ලෝක කුසලාන තරගාවලිය රෝයි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවසාන අවස්ථාව වුනා. තමාගේ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ලකුණු 80ක් රැස් කරගන්න රෝයි සමත් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තැබුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල පරාසයක සිය සේවය ලබා දෙන්නට අදටත් රෝයි ඩයස් නම් විශිෂ්ටයා ඇප කැප වී සිටිනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<