50න් අවසන් වීමේ විපාක සමඟ අලුත් වූ වාර්තා පොත

517

ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ වාර්තා වූ අවාසනාවන්ත ම ඉනිමේ හිමිකාරයන් බවට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

ඒ පසුගිය දා නිමා වූ 2023 ආසියානු කුසලාන එක්දින මහා තරගයේ දී ඉන්දියාව ඉදිරියේ ලකුණු 50කට දැවී යෑමත් සමඟින්.

ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලද මෙම ඉනිමත් සමඟින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙන් ම ආසියානු ක්‍රිකට් ඉතිහාසයේ ද වාර්තා පොත් නැවත වරක් පෙරළා සටහන් තැබීමට සිදු වීම විශේෂත්වයක්. මේ ඒ පිළිබඳව තැබෙන සටහනක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ම එක්දින ඉනිම්

මෙම වර්ගීකරණය යටතේ මෙම ඉනිම පත් වෙන්නේ දෙවැනි ස්ථානයටයි.

43 – ශ්‍රී ලංකා කණ්ඩායම 2012 වසරේ දී දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ පළමු තරගයේ දී ඔවුන්ගේ ඉනිම පන්දුවාර 20.1ක දී ලකුණු 43කට සීමා වෙනවා. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

මෙම තරගයේ ශ්‍රී ලංකා නායකයා ලෙසින් තිලකරත්න ඩිල්ශාන් කටයුතු කළ අතර උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් වැනි දක්ෂ පිතිකරුවෝ කණ්ඩායම නියෝජනය කළා.

දකුණු අප්‍රිකා කණ්ඩායම AB de Villiers විසින් මෙහෙයවනු ලැබූ අතර එම කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී Morne Morkel, Lonwabo Tsotsobe සහ Robin Peterson දක්ෂතා දැක්වුනා.

තරගයෙන් ලකුණු 258ක ජයක් සත්කාරක ක්‍රීඩකයෝ හිමිකර ගත් අතර පන්දුවාර 6ක් යවමින් නිලකුණු පන්දුවාර 2ක් සමඟින් ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත් Morne Morkel තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

55 – 1986 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 248ක් වූ ඉනිම හඹා යෑමේ දී ලකුණු 55කට සියලු ක්‍රීඩකයෝ දැවී ගියා.

ඔවුන්ගේ එම ඉනිම පන්දුවාර 28.3කට සීමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වූ අතර එහි දී Courtney Walsh පන්දුවාර 4.3ක් යවමින් නිලකුණු පන්දුවාර 3ක් සමඟින් එක් ලකුණකට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා නායකත්වයේ දුලිප් මෙන්ඩිස් කටයුතු කළ අතර රොෂාන් මහානාම, බ්‍රෙන්ඩන් කුරුප්පු, අසංක ගුරුසිංහ, අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා සහ හෂාන් තිලකරත්න පිතිකරුවන් ලෙසින් එක් ව සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම Viv Richards විසින් මෙහෙය වූ අතර මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 193ක පරාජයකට මුහුණ දුන්නා.

67 – 2014 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 24.0ක දී සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 67 ඉන් අනතුරුව මෙම ලැයිස්තුවට එක් වෙනවා.

මෙම කණ්ඩායමේ ශ්‍රී ලංකා නායකයා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කළ අතර, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ශාන් සහ ලහිරු තිරිමාන්න යන අය එක් ව සිටියා.

මෙම තරගයෙන් කඩුලු 10ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙන අතර පන්දුවාර 8ක දී ලකුණු 29කට කඩුලු 5ක් දවා ගත් Chris Jordan තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළේ Alastair Cook.

ලෝක ඉතිහාසයේ අඩු ම පන්දු ප්‍රමාණයකින් අවසන් වූ එක්දින තරග

මෙම ලැයිස්තුවේ, ආසියානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු තැනට මෙම තරගය පත් වන අතර එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දී පත් වෙන්නේ තෙවැනි තැනට.

104 – ඇමෙරිකාව සහ නේපාලය අතර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරගයේ දී ඇමෙරිකාව පන්දු 72ක දී ලකුණු 35කට දැවී යන අතර එම ඉලක්කය නේපාලය විසින් පන්දු 32ක් පමණක් වැය කරමින් සපුරා ගන්නවා.

116 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2011 වසරේ දී මෙරට දී පැවති තරගයක දී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ පන්දු 98ක දී ලකුණු 38කට දැවී යන අතර ශ්‍රී ලංකාව එම ඉලක්කය සපුරා ගන්නේ පන්දු 18ක් පමණක් වැය කරමින්.

129 – ශ්‍රී ලංකාව තම ඉනිම වෙනුවෙන් වැය කරන්නේ පන්දු 92ක් පමණක් වන අතර ඉන්දියාව එය පන්දු 37ක දී සපුරා ගන්නවා. ඒ අනුව නිමා වූ තරගය සඳහා වැය වන්නේ පන්දු 129ක් පමණයි.

ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ අවාසනාවන්ත අවසන් මහා තරග ඉනිම්

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වෙන්නේ නිමා වූ තරගයේ දී වාර්තා වූ ශ්‍රී ලංකා ඉනිමයි. එය මෙම ලැයිස්තුවේ පළමු වැනියා ව සිටින ඉන්දියාවට වඩා ලකුණු 123ක වෙනසක්.

173 – ඉන්දියාව

ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී මීට පෙර අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම වූයේ ඉන්දියාවයි. ඔවුන් 2008 වසරේ දී පාකිස්තානයේ කරච්චි නුවර ජාතික ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ඉදිරියේ පන්දුවාර 39.3ක දී ලකුණු 173කට දැවී ගියා.

MS Dhoniගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධන හෙබවූ අතර ලකුණු 13කට කඩුලු 6ක් දවා ගත් අජන්ත මෙන්ඩිස් අවසන් තරගයේ දී මෙන් ම තරගාවලියේ දී ද වීරයා බවට පත් වුනා.

ආසියානු එක්දින කුසලාන තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් දැක්වෙන්නේ අජන්ත මෙන්ඩිස් පෑ මෙම දක්ෂතාවයි.

176 – ශ්‍රී ලංකාව

ආසියානු කුසලාන අවසන් මහා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව මීට පෙර ලබා සිටි අඩු ම ලකුණු සංඛ්‍යාව වූයේ 1988 දී බංග්ලාදේශයේ Dhaka හී Bangabandhu ජාතික ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ ඉන්දියාව හමුවේ පන්දුවාර 43.5ක දී ලබා ගත් ලකුණු 176යි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ජුන රණතුංග නායකත්වයේ කටයුතු කළ අතර ඉන්දීය කණ්ඩායම Dilip Vengsarkar විසින් මෙහෙය වූවා.

තරගයේ දී පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත් Navjot Sidhu නම් කෙරුණා. තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තේ Sidhu.

187 – ශ්‍රී ලංකාව

මෙම ලැයිස්තුවේ මීට පෙර තෙවැනි ස්ථානය හිමි ව තිබුණේ නැවතත් ශ්‍රී ලංකාවට. 2010 ආසියානු කුසලාන තරගාවලියේ දී ඔවුන් නැවතත් ඉන්දියාව හමුවේ තම ඉනිම පන්දුවාර 44.4ක දී ලකුණු 187කට සීමා කර ගන්නවා.

එම තරගයේ දී MS Dhoni ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ කුමාර් සංගක්කාර විසින්.

තරගයේ වීරයා ලෙසින් පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත් Dinesh Karthik නම් කෙරුණා. තරගාවලියේ වීරයා ලෙසට නම් කෙරුණේ පාකිස්තානයේ Shahid Afridi.

ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ අවාසනාවන්ත ඉනිම්

මෙම ලැයිස්තුවේ ද පළමු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. එය එතෙක් රැකගෙන සිටියේ බංග්ලාදේශයයි. ඔවුන් මෙම වාර්තාව වසර 23ක් තිස්සේ රැකගෙන සිටියා.

87 – බංග්ලාදේශය

2000 වසරේ දී බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ දී සත්කාරක ක්‍රීඩකයෝ තම ඉනිම පන්දුවාර 34.2ක දී ලකුණු 87කට තම නිමා කර ගන්නවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 3කට ලකුණු 320ක් රැස් කර ගෙන සිටි බැවින් ඔවුන්ට මෙම තරගයේ දී ලකුණු 233ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා. එහි දී පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත් Imran Nazir තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙනවා.

මෙම ලකුණු සංඛ්‍යාව එතැන් සිට පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා – ඉන්දියා තරගය තෙක් ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගන්නා ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක් ව තිබුණා.

මෙම තරගයේ දී පාකිස්තාන කණ්ඩායම Moin Khan විසින් මෙහෙය වූ අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙය වූයේ Aminul Islam විසින්.

94 – බංග්ලාදේශය

1986 ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ පාකිස්තානය හමුවේ පන්දුවාර 32.1ක දී ලකුණු 94කට තම ඉනිම නිමා කර ගන්නවා. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායමේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයයි.

මෙම තරගයේ දී පාකිස්තාන කණ්ඩායම Imran Khan විසින් මෙහෙය වූ අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ Gazi Ashraf වෙතයි. තරගයේ දී ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත් Wasim Akram තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙනවා.

96 – ශ්‍රී ලංකාව

1984 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මංගල ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයේ දී ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 96කට දැවී යනවා. එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 41කට මුහුණ දුන්නා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවාර 21.4ක් පමණක් වැය වූ අතර තරගයෙන් ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක ජයක් හිමි වුනා.

මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම Sunil Gavaskar විසින් මෙහෙය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ දුලිප් මෙන්ඩිස්.

එම තරගයේ දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත් Surinder Khanna තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවාසනාවන්ත එක්දින ඉනිම්

වසර 11ක් තිස්සේ කිසිවක් ම සිදු නොවී තිබූ මෙම ලැයිස්තුව අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූයේ එහි එතෙක් පළමු ස්ථානයේ සිටි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ දෙවැනි ස්ථානයට තල්ලු කර දමමින්.

86 – නෙදර්ලන්තය

2002 වසරේ පැවති ICC ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ පන්දුවාර 29.3ක දී ලකුණු 86කට දැවී ගිය නෙදර්ලන්තය මෙම ලැයිස්තුවේ පළමු අසුනේ සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සනත් ජයසූරිය විසින් මෙහෙය වූ අතර නෙදර්ලන්ත කණ්ඩායම Roland Lefebvre මෙහෙය වූවා. තරගයේ වීරයා වූයේ පන්දු 118ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත් මාවන් අතපත්තු.

98 – ශ්‍රී ලංකාව

1993 වසරේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ මෙරට සංචාරයේ දී සැප්තැම්බර් දෙවැනි දා පැවති තරගයේ දී ලකුණු 222ක හඹායන ඉනිමකට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 34ක දී සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 98ක් පමණයි.

එම තරගයේ සංචාරක කණ්ඩායමේ නායකයා ලෙසින් Kepler Wessels කටයුතු කරන අතර ශ්‍රී ලංකා නායකයා වූයේ අර්ජුන රණතුංගයි. තරගයේ වීරයා ලෙසින් පිතිකරුවෙක් ලෙසින් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් සහ පන්දු යවමින් ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත් Brian McMillan නම් කෙරුණා.

103 – ඉන්දියාව

2008 වසරේ දී ඉන්දීය කණ්ඩායමේ මෙරට සංචාරයේ දී ලකුණු 227ක හඹා යන ඉනිමකට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 26.3ක දී ලකුණු 103කට දැවී යනවා.

මෙම තරගයේ දී ඉන්දීය නායකයා ලෙසින් MS Dhoni කටයුතු කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කළා. තරගයේ වීරයා ලෙසින් ඉන්දීය ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙක් ලකුණු 40ක දවාලූ නුවන් කුලසේකර නම් කෙරුණා.

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තරග තොරතුරු සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<