පිත්ත වගේ වචනත් මුවහත් ඉන්දියානුවා – සේවාග්!

633

ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ විරේන්ද්‍ර සේවාග් ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් තුට්ටුවකට හෝ මායිම් නොකරමින් දැඩිව පන්දුවට පහර දෙන්නෙකු ලෙස සේවාග් ප්‍රසිද්ධියක් උසුලනවා.

පිත්තෙන්, පන්දුවෙන් විතරක් නෙවෙයි සේවාග් කියන්නේ හොඳට වචන හරඹ කරන්න පුළුවන් කෙනෙක්. සේවාග්ගේ උපන්දිනය යෙදිලා තියන අද (20) අපි ඔබ වෙත ගෙන එන්නේ එහෙම සේවාග් කියපු හොඳ කියමන් ටිකක්.

  • මොන ජාතියේ කුක්කෙක් ද මේ?

2008 වසරේ ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර පැවති ටෙස්ට් තරගයක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මයිකල් ක්ලාක් නිරන්තරයෙන් සචින් තෙන්දුල්කාර් ඉලක්ක කර ගනිමින් වාග් ප්‍රහාර එල්ල කරමින් සිටියා.

උඹ වයස වැඩියි”

“ඇයි ෆීල්ඩ් එකේ ඉන්නේ නැත්තේ?”

“දැන් රිටයර් වෙන්න කාලේ හරි”

“දැන් පොඩ්ඩක් සෙල්ලම් කරනකොට මහන්සි නේද?”

මේ අවස්ථාවේ සචින්ගේ සහායට පැමිණියේ  විරේන්ද්‍ර සේවාග්. වචන කිහිපයකින් ඔහු ක්ලාක්ගේ නොමනා විහිළුවට තිත තැබුවා.

මයිකල් උඹ ටෙස්ට් මැච් කීයක් ගහලා තියනවා ද?” සේවාග් කටහඬ අවදි කළා.

විසිපහක් විතර...”

සචින් ටෙස්ට් සෙන්චරීස්ම 40ක් ගහලා තියනවා. උඹ තාම විසි පහයි. එහෙව් උඹ තමයි මේ මනුස්සයට නාකියි කියන්නේ. උඹ ගහපු මැච් ගානටත් වඩා සීයේ ඒවා සචින් ගහලා තියනවා,” සේවාග් කිව්වා.

මට උඹත් එක්ක කතාවක් නෑ” එනපොට හොඳ නැති බව දුටු ක්ලාක් ගේ කල්පනාව දැන් එතනින් පැන ගන්න.

නමුත් ඔහු අතාරින්නට සේවාග්ගේ සූදානමක් නැහැ.

මයිකල් පොඩි දෙයක් දැන ගන්න ඕන. ඔබේ කණ්ඩායමේ සගයන් ඔබට කතා කරන්නේ පප් (බලු කුක්කා) කියලා නේද?“

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සගයන් මයිකල් ක්ලාක් වෙනුවෙන් භාවිතා කරන සුරතල් නාමය පප් ය (Pup).

ඔව්…ඇයි?” ක්ලාක් ක්ෂණික පිළිතුරු දුන්නා.

මොන ජාතියේ කුක්කෙක් ද?

  • සචින්ගේ බැංකු ශේෂය

විරේන්ද්‍ර සේවාග් ක්‍රිකට් පිටියට පැමිණි මුල් අවධියේ බොහෝ විස්තර විචාරකයින්ට පවා ඔහු සහ සචින් තෙන්දුල්කාර් වෙන වෙනම හඳුනා ගන්නට එකවරම අපහසු වුනා.

සේවාග් ක්‍රිකට් ක්‍රීඩාවේ යම්තාක් දුරකට ස්ථාවර වූ පසු එක්තරා විස්තර විචාරකයෙකු සේවාග්ගෙන් අමුතු තාලයේ ප්‍රශ්නයක් ඇසුවා.

මොකක්ද ඔබ සහ සචින් තෙන්දුල්කාර් අතර ඇති වෙනස?”

ඊට සිනහවෙන් ප්‍රතිචාර දක්වමින් සේවාග් එකවරම මෙසේ පැවසුවා.

වෙනසක් තියනවා. ඒ අපේ බැංකු ශේෂවල”.

  • බැට්ස්මන් කෙනෙක් වුණාම හතරේ ඒවා ගහන්නත් එපැයි.

කලක් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජෙෆ් බෝයිකොට් සැලකෙන්නේ තාක්ෂණයෙන් අනූන පිතිකරුවෙකු ලෙසින්. නමුත් ඔහුගේ පිතිකරණ ඇතමුන්ට ඇති කළේ අලස බවක්.

වරක් විරේන්ද්‍ර සේවාග් පන්දුවට පහර දෙන ආකාරය බලා සිට බෝයිකොට් ප්‍රකාශ කළේ සේවාග් යනු තමා දැක ඇති අති දක්ෂතම පිතිකරුවෙකු බවත්, නමුත් සමහර අවස්ථාවල ඔහු තරමක් කලබලයට පත්වන බවත්, එවන් අවස්ථාවේදී  ඔහු ක්‍රීඩා කරන්නේ මොළයක් නැති එකෙකු ලෙස බවත්.

 බෝයිකොට්ගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සේවාග් මෙසේ පැවසුවා.

බෝයිකොට්ට නම් ඕන දෙයක් කියන්න බැරියැයි. මිනිහා එකපාරක් මුළු දවසම බැට් කරලා ගහලා තිබුණේ එක හතරේ පාරයි.”

2003/04 ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක සව්රව් ගංගුලි මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

ඉන්දීය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා විරේන්ද්‍ර සේවාග් සහ අකාශ් චොප්රා පළමු කඩුල්ලට ලකුණු 141ක් එක් කළා.

බ්‍රෙට් ලී, නේතන් බ්‍රැකන්, බ්‍රැඩ් විලියම්ස් සහ ස්ටුවර්ට් මැගිල් යන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන් සේවාග් පන්දු 144කින් සිය ශතකය වාර්තා කර ගත්තා.

නොනවත්වා ප්‍රහාරය දියත් කළ සේවාග් ලකුණු 200 සීමාවට වේගයෙන් කිට්ටු වෙමින් සිටියා.

ඒ අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ පන්දුව ලබා දුන්නේ සයිමන් කැටිච් ටය. වමතින් පිට දඟපන්දු යවන කැටිච් එතරම් පන්දු යැවීමේ යෙදෙන ක්‍රීඩකයෙක් නම් නෙවෙයි.

ලකුණු 195ක් ලබා සිටිය දී කැටිච් එවූ ෆුල්ටොස් පන්දුවකට සේවාග් වැරෙන් පහරක් එල්ල කළේ කෙළින්ම ලකුණු 200 සීමාවෙන් එහාට පැන ගන්න.

නමුත් පිත්තේ හරිහැටි නොවැදී ගිය පන්දුව උඩපන්දුවක් ලෙස නතර වූයේ ඩීප් මිඩ්විකට් කලාපයේ පන්දු රකිමින් සිටි නේතන් බ්‍රැකන්ගේ සුරතේ.

ක්‍රීඩක විවේකාගාරයට පැමිණි සේවාග්ට කිට්ටු කළ ඉන්දීය ක්‍රීඩකයෙකු මෙසේ පැවසුවා.

ඔබට ලකුණු දෙසීයට තවත් ලකුණු පහක් විතරයි තිබුණේ. ඔබට එක ලකුණ ගානේ ගහලත් ලකුණු දෙසීයක් ලබාගන්න තිබුණා.”

ෂැහ්..මට යාර තුනකින් නේ ලකුණු දෙසීය මඟ හැරුණේ”

  • හයකින් ලකුණු තුන්සීයට

2003/04 ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පස්සේ ඉන්දියානු කණ්ඩායම යන්නේ පාකිස්තානයට. ඒ සංචාරයේ මුල්තාන් නුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී සේවාග් ලකුණු 300ක් ලබා ගන්නවා.

සේවාග් ලකුණු 300 සීමාවට කිට්ටු වෙද්දී අනිත් අන්තයේ හිටපු සචින් තෙන්දුල්කාර් සේවාග්ට කිට්ටු කරලා මෙහෙම කියනවා.

මේ මේ හයේ ඒවා එහෙම ගහන්න ලෑස්ති වෙනවා නෙවෙයි.”

සචින් එහෙම කියන්නේ මෙල්බර්න් ටෙස්ට් තරගයේ දී ලකුණු 195 ඉඳලා සේවාග් ගහපු අපරික්ෂාකාරී පහර මතක් වෙච්ච නිසා වෙන්න පුළුවන්.

සක්ලේන් මුෂ්ටාක් බෝල් කළොත් නම් අනිවාර්යයෙන්ම හයක් ගහනවා.”

කිව්වත් වගේ ඊළඟ පන්දුවාරය ක්‍රියාත්මක කළේ සක්ලේන් මුෂ්ටාක්. මුෂ්ටාක්ගේ මුල්ම පන්දුව නැවතුණේ ඩීප් මිඩ්විකට් වලට උඩින් හයේ සීමාවේ.

තුන්සීයයි!

මේ ඉනිමේ දී සේවාග් ලකුණු 309ක් රැස් කර ගන්නවා. සේවා ගේ දැඩි ප්‍රහාරය නිසාම ඉන්දියානු කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 52ක අනගි ජයක් හිමි වෙනවා.

සේවාග් අතින් දරුණු පහර කෑමට ලක් වූ සක්ලේන් මුෂ්ටාක් නම් පාකිස්තානය බිහි කළ අතිදක්ෂ දඟපන්දු යවන්නා නැවත වතාවක් පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැහැ. එදා සේවාග් එල්ල කළ ප්‍රහාරය ඒ තරම්ම දරුණු වුනා.

ඒ වගේ පාකිස්තානු භූමියේ දී ඉන්දියානුවන් ලබා ගත් මුල්ම ටෙස්ට් තරගාවලි ජය ලබා ගන්නටත් මූලික අඩිතාලම දැම්මේ මේ ඉනිම.

  • මම ගහන්නේ බෝලේට

වතාවක් මාධ්‍යවේදියෙක් සේවාග්ගෙන් මෙහෙම අහනවා.

ඔබ කොහොමද ග්ලේන් මැග්‍රාත්, බ්‍රෙට් ලී වගේ අයට මේ විදියට පහසුවෙන් හයේ හතරේ පහරවල් ගහන්නේ?”

මම ගහන්නේ බෝලෙට මිසක් බෝලර්ස්ලාට නෙවෙයි” සේවාග් හිනාවෙන්ම ප්‍රතිඋත්තර දුන්නා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<