දනාල් සහ ක්‍රිශාන් දක්ෂතා දක්වයි

Uganda Tour of Sri Lanka 2024

182
Uganda Tour of Sri Lanka 2024

සංචාරක උගන්ඩා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ සිවු වැනි තරගයෙන් ද ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිත කණ්ඩායම සමත් වූවා.

4 වැනි තරගය, ගාල්ල, 17, පෙබරවාරි 2024, Uganda Tour of Sri Lanka

o ක්‍රීඩාංගණය: ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල

o කාසියේ වාසිය: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය

අද පැවැති මෙම තරගය සඳහා උගන්ඩා ක්‍රීඩකයෝ පිටියට පිවිසියේ නිත්‍ය නායක Brian Masaba නොමැතිවයි. ඔවුන් මෙම තරගාවලියේ නායකත්වය භාර දී තිබුණේ 25 වැනි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක Kenneth Waiswa වෙතයි.

ඔහු මෙම තරගාවලියේ දෙරටේ ක්‍රීඩකයන් අතුරින් පළමු අර්ධ ශතකය වාර්තා කළ ක්‍රීඩකයායි. ඔහුට අමතර ව අද තරගයට කඩුලු රකින්නා ලෙසින් Fred Achellam ද කැඳවා තිබූ අතර ඊට අමතර ව Juma Miyagi, Ronald Lutaya සහ Innocent Mwebaze එක් වී සිටියා.

ඔවුන් වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ නායක Brian Masaba, කඩුලු රැකීමේ නිරත Kakuru Cyrus, Bilal Hassun,  Robinson Obuya සහ Frank Nsubuga විවේක ගන්වා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ මොවින් සුබසිංහ සහ තරිඳු රත්නායක වෙනුවට අයන සිරිවර්ධන සහ කවිඳු නදීශාන් කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම: අහන් වික්‍රමසිංහ (නායක), කමිල් මිෂාර, ක්‍රිශාන් සංජුල, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), අයන සිරිවර්ධන, මුදිත ලක්ෂාන්, චමිඳු වික්‍රමසිංහ, කවිඳු නිර්මාන, ලක්ෂාන් සඳකැන්, කවිඳු නදීශාන්, දනාල් හේමානන්ද.

උගන්ඩා කණ්ඩායම: Kenneth Waiswa (නායක), Fred Achellam (කඩුලු රකින්නා), Roger Mukasa, Henry Ssenyondo, Simon Ssesazi, Alpesh Ramjani, Juma Miyagi, Biazat Ali Shah, Dinesh Nakrani, Ronald Lutaya, Innocent Mwebaze.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක උගන්ඩා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

එම ඉනිමේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් Roger Mukasa සහ Biazat Ali Shah එක් ව පන්දු 41ක දී ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර එය එම ඉනිමේ ගෞරවය සුරැකි සබඳතාව ද වූවා.

එහි දී ආරම්භක පිතිකරු Roger Mukasa පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. මේ අතර ශ්‍රී ලංකා සංචාරයේ අද තම පළමු තරගයට සහභාගී වූ Biazat Ali Shah පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ඉනිම වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමින්.

උගන්ඩා ඉනිම අසරණ කළ පන්දු යවන්නා වූයේ 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යැවූ දනාල් හේමානන්දයි. ඔහු තම පන්දුවාර 4 ලකුණු 14කට සීමා කරමින් කඩුලු 4ක් දවා ගත්තා.

ඊට අමතර ව මුදිත ලක්ෂාන්, කවිඳු නිර්මාන,  ලක්ෂාන් සඳකැන් සහ චමිඳු වික්‍රමසිංහ එක් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිමේ ආරම්භක පිතිකරුවන් අතර සබඳතාව ලකුණු 11කට සීමා කිරීමට උගන්ඩා පන්දු යවන්නෝ දක්ෂතා දැක්වූව ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කිරිමට ක්‍රිශාන් සංජුල සහ සොහාන් ද ලිවේරා සමත් වූවා.

අනතුරු ව 3 වැනි කඩුල්ල සඳහා එක් වූ ක්‍රිශාන් සංජුල සහ නායක, අහන් වික්‍රමසිංහ පන්දු 74ක දී ලකුණු 82ක සබඳතාවක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණේ අහන් වික්‍රමසිංහගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ක්‍රිශාන් සංජුල පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා සිටියා. මෙම අර්ධ ශතකය ඔහු මෙම තරගාවලියේ වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකයයි.

තරගය අවසන් වෙද්දී අනෙක් අන්තයෙන් අයන සිරිවර්ධන නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Innocent Mwebaze ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත් අතර අනෙක් කඩුල්ල Juma Miyagi විසින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

උගන්ඩාව – කඩුලු 9ක් දැවී 137 (20.0) Roger Mukasa28, Biazat Ali Shah 45, Dinesh Nakrani 30, දනාල් හේමානන්ද 4/14

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය – කඩුලු 3ක් දැවී 141 (19.2) ක්‍රිශාන් සංජුල නොදැවී 69, අහන් වික්‍රමසිංහ 48, Innocent Mwebaze 2/31

මෙම තරගාවලියේ 5 වැනි තරගය හෙට (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<