ක්‍රිශාන් සංජුල ගෙන් ජයග්‍රාහී ඉනිමක්

Uganda Tour of Sri Lanka 2024

182

සංචාරක උගන්ඩා ජාතික කණ්ඩායම හා සමඟ පැවැත්වෙන තරග 7කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

මේ දක්වා දෙරට කණ්ඩායම් අතර තරග 3ක් පැවැති අතර ඒ සියලු තරගයක් ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

3 වැනි තරගය, ගාල්ල, 16, පෙබරවාරි 2024, Uganda Tour of Sri Lanka

o කාසියේ වාසිය: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය

o ක්‍රීඩාංගණය: ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල

ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරග 2 දී නායකත්වයේ කටයුතු කළ නුවනිඳු ප්‍රනාන්දු වෙනුවට මෙම තරගයේ නායකත්වයේ වගකීම අහන් වික්‍රමසිංහ සතු වුණා. ඊට අමතර ව පෙර තරගයට ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර, දිනුර කළුපහන, මල්ෂ තරුපති, ඉසිත විජේසුන්දර සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට, කමිල් මිෂාර, කවිඳු නිර්මාල්, ලක්ෂාන් සඳකැන්, මුදිත ලක්ෂාන් සහ දනාල් හේමානන්ද කැඳවා තිබුණා.

උගන්ඩා කණ්ඩායම මෙම තරගයට එක් වුණේ පෙර තරගයට ක්‍රීඩා කළ කඩුලු රැකි ක්‍රීඩක Fred Achellam වෙනුවට Kakuru Cyrus ද සහ Juma Miyagi වෙනුවට Frank Nsubuga ද කැඳවමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය: අහන් වික්‍රමසිංහ (නායක), ක්‍රිශාන් සංජුල, කමිල් මිෂාර, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), මොවින් සුබසිංහ, චමිඳු වික්‍රමසිංහ, කවිඳු නිර්මාල්, තරිඳු රත්නායක, ලක්ෂාන් සඳකැන්, මුදිත ලක්ෂාන්, දනාල් හේමානන්ද.

උගන්ඩා කණ්ඩායම: Brian Masaba (නායක), Roger Mukasa, Simon Ssesazi, Kenneth Waiswa, Dinesh Nakrani, Alpesh Ramjani, Kakuru Cyrus (කඩුලු රකින්නා), Bilal Hassun, Henry Ssenyondo, Robinson Obuya, Frank Nsubuga.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා සංවර්ධිත සංචිතයේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි උගන්ඩා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී 166ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 69ක් ලබා ගැනීමට Roger Mukasa සහ Simon Ssesazi සමත් වුනා. එම සබඳතාව බිඳ දැමීමේ ගෞරවය හිමි වූයේ මෙම තරගාවලියේ පළමු වරට කැඳවීම් ලැබූ ලක්ෂාන් සඳකැන්ටයි. ඔහු පන්දු යැවීමට කැඳවනු ලැබූ පන්දු වාරයේ දී ම මෙම කඩුල්ල දැවී යද්දී Roger Mukasa පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

අනෙක් ආරම්භක පිතිකරු වූ Simon Ssesazi පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තා. එය උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් මෙම තරගාවලියේ දී වාර්තා වූ 2 වැනි අර්ධ ශතකයයි. මීට පෙර, පෙර තරගයේ දී Kenneth Waiswa ද අර්ධ ශතකයක් වාර්තා කළා.

උගන්ඩා ඉනිම අවසන් වෙද්දී Alpesh Ramjani පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී ආරම්භක වේග පන්දු යැවූ දනාල් හේමානන්ද ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත් අතර උගන්ඩා ඉනිමේ කඩුලු දවා ගැනීම ආරම්භ කළ ලක්ෂාන් සඳකැන් ලකුණු 36කට කඩුලු 2ක් දවා ගන්නවා.

ඊට අමතර ව චමිඳු වික්‍රමසිංහ ද කඩුල්ලක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිත ක්‍රීඩකයෝ තවත් පන්දු 9ක් සහ කඩුලු 7ක් ඇතැතිව තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

එම ඉනිම වෙනුවෙන් කැපී පෙණෙන මෙහෙවරක නිරත වූයේ ආරම්භක පිතිකරු ක්‍රිශාන් සංජුල. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා ගත්තා.

ක්‍රිශාන් සංජුල විසින් අද වාර්තා කළේ උගන්ඩා කණ්ඩායමට එරෙහිව මෙරට ක්‍රීඩකයෙක් වාර්තා කරන ලද පළමු අර්ධ ශතකයයි.

පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවන් අතර අනෙක් ආරම්භක පිතිකරු කමිල් මිෂාර ද වෙනවා. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

නායක අහන් වික්‍රමසිංහ පන්දු 25කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද සහ සොහාන් ද ලිවේරා පන්දු 11ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 20ක් ද ලබා ගත්තා.

ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී චමිඳු වික්‍රමසිංහ පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.

කඩුලු බිඳ දැමීමේ දී Dinesh Nakran,i Frank Nsubuga සහ Henry Ssenyondo කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

උගන්ඩාව – කඩුලු 6ක් දැවී 166 (20.0) Roger Mukasa 34, Simon Ssesazi 70, Alpesh Ramjani නොදැවී 19, දනාල් හේමානන්ද 2/33, ලක්ෂාන් සඳකැන් 2/36

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය – කඩුලු 3ක් දැවී 168 (18.3) කමිල් මිෂාර 30, ක්‍රිශාන් සංජුල නොදැවී 59, සොහාන් ද ලිවේරා 20, අහන් වික්‍රමසිංහ 37, චමිඳු වික්‍රමසිංහ නොදැවී 19, Frank Nsubuga 1/27

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතයට කඩුලු 7ක ජයක්.

මෙම තරගාවලියේ සිවු වැනි තරගය හෙට (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<