උගන්ඩාව තියුණු තරගයකින් අනතුරු ව පරාජයට පත් වේ

Uganda Tour of Sri Lanka 2024

2139

උගන්ඩාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය හා එක් ව පැවැත්වෙන තරග 7කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය අද (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයට ලකුණු 4ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.  

2 වැනි තරගය, ගාල්ල, 13, පෙබරවාරි 2024, Uganda Tour of Sri Lanka 

  • කාසියේ වාසිය : උගන්ඩාව
  • ක්‍රීඩාංගණය : ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වූයේ එක් වෙනස්කමක් කරමින්. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ දනාල් හේමානන්ද වෙනුවට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 12කට ක්‍රීඩා කර ඇති බිනුර ප්‍රනාන්දු කැඳවමිනුයි.  

උගන්ඩා කණ්ඩායම වෙනස්කම් 2ක් සහිතව අද තරගයට පිවිසියා. ඒ පෙර දින කණ්ඩායම හා එක් වූ Ronald Lutaaya සහ කඩුලු රැකි ක්‍රීඩක Kakuru Cyrus වෙනුවට Robinson Obuya සහ කඩුලු රැකීම සඳහා Fred Achellam නම් කරමිනුයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය: නුවනිඳු ප්‍රනාන්දු (නායක), සොහන් ද ලිවේරා (කඩුලු රකින්නා), ක්‍රිශාන් සංජුල, අශේන් බණ්ඩාර, මොවින් සුබසිංහ, දිනුර කළුපහන, චමිඳු වික්‍රමසිංහ, මල්ෂ තරුපති, ඉසිත විජේසුන්දර, තරිඳු රත්නායක, බිනුර ප්‍රනාන්දු. 

උගන්ඩා කණ්ඩායම: Brian Masaba (නායක), Roger Mukasa, Simon Ssesazi, Robinson Obuya, Kenneth Waiswa, Dinesh Nakrani, Alpesh Ramjani, Fred Achellam (කඩුලු රකින්නා), Henry Ssenyondo, Bilal Hassun, Juma Miyagi 

කාසියේ වාසිය දිනූ උගන්ඩා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයේ පළමු කඩුල්ල ලකුණු 10ක් වෙද්දී දවා ගැනීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූවා. දුවද්දී දැවී යමින් ඊට ගොදුරු වූයේ සොහාන් ද ලිවේරා (2). 

නමුත්  2 වැනි කඩුල්ලේ දී පන්දු 46ක් තුළ ලකුණු 69ක සබඳතාවක් එක් කිරීමට ක්‍රිශාන් සංජුල සහ නායක නුවනිඳු ප්‍රනාන්දු සමත් වූවා. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා තිබිය දී දැවී යෑමත් සමඟ එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

අනතුරු ව පිටියට එක් වූ අශේන් බණ්ඩාරට පළමු පන්දුවේ දී ම කඩුල්ල හැර යෑමට සිදු වූවා. ඔහුගේ දැවි යෑමෙන් අනතුරුව ක්‍රිශාන් සංජුල ද ලකුණු 42ක් ලබා සිටිය දී තම කඩුල්ල හැර ගියා. ඔහු ඒ වෙද්දී පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මොවින් සුබසිංහ (6) සහ චමිඳු වික්‍රමසිංහ (8) ද අඩු ලකුණු ප්‍රමාණයන්වලට කඩුලු හැර ගියා. එම අවස්ථාවේ දී පිටියට එක් වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ දිනුර කළුපහන සහ මල්ෂ තරුපති 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21ක දී නොදැවුණු ලකුණු 45ක සබඳතාවක් එක් කළා.  

එහි දී මල්ෂ තරුපති පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ද සහ දිනුර කළුපහන පන්දු 27ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී  25 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Kenneth Waiswa ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව වමතින් පා දඟ පන්දු යැවූ Henry Ssenyondo කඩුල්ලක් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවක් එක් කිරීමට Roger Mukasa සහ Simon Ssesazi සමත් වුනා. ඔවුන් දෙදෙනා මෙම සබඳතාව පන්දු 34ක් තුළ පවත්වාගෙන ගිය අතර Roger Mukasa දුවද්දී දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණා. ඒ වෙද්දී ඔහු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා සිටියා.  

අනතුරු ව 2 වැනි කඩුල්ල ද දුවද්දී දැවී යෑමකින් ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූනා. ඒ වෙද්දී ඉනිම කියැවුණේ ලකුණු 58ක් ලෙසයි. එවර ඊට ගොදුරු වූයේ Simon Ssesazi. ඔහු ඒ වෙද්දී පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.  

තෙවැනි කඩුල්ල තවත් ලකුණු 8ක් ඉනිමට එක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූව ද සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46ක දී ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ Kenneth Waiswa සහ Dinesh Nakrani සමත් වූවා.  

තරගාවලියේ පළමු අර්ධ ශතකලාභියා වීමේ ගෞරවය ලබා ගත් Kenneth Waiswa තමන් මුහුණ දුන් 31 වැනි පන්දුවේ දී අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වූවා. නමුත් ඔහු මුහුණ දුන් ඊළඟ පන්දුවේ දී තම කඩුල්ල හැර යෑමට ඔහුට සිදු වූ අතර ඒ වෙද්දී ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.  

ඒ වෙද්දී 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් පැවැති අතර ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 146ක් ලෙසයි.  

ක්‍රියාත්මක එම ඉනිමේ අවසන් පන්දුවාරයේ දී උගන්ඩා ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 13ක් පමණයි. ඉසිත විජේසුන්දර විසින් යැවුණ එම පන්දුවාරය ලකුණු 8කට සීමා වූ අතර අවසන් පන්දුවේ දී එතෙක් වේලා උගන්ඩා ඉනිම ගෞරවනීය තත්ත්වයට ගෙන එමින් සිටි Dinesh Nakrani කඩුල්ල ද දවා ගැනීමට සමත් වූවා.  

Dinesh Nakrani දැවී යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.  අනෙක් අන්තයේ සිටි Alpesh Ramjani ලකුණු 3ක් ලබා නොදැවී පිටියේ රැදී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී බිනුර ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය – කඩුලු 6ක් දැවී 169 (20.0) ක්‍රිශාන් සංජුල 42, නුවනිඳු ප්‍රනාන්දු 35, දිනුර කළුපහන නොදැවී 31, මල්ෂ තරුපති නොදැවී 35, Kenneth Waiswa 3/27
  • උගන්ඩාව – කඩුලු 5ක් දැවී 165 (20.0) Simon Ssesazi 36, Kenneth Waiswa 50, Dinesh Nakrani 43, ඉසිත විජේසුන්දර 1/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතයට ලකුණු 4ක ජයක්.  

තරගාවලියේ 3 වැනි තරගය මේ මස 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<