සත්කාරක ශ්‍රී ලංකාව සහ බංගලි කතුන්ගේ සංචාරය

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

182

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වන බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය මේ මස 29 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරග 3 බැගින් ඇතුලත් තරගාවලි දෙකෙන් පළමුවෙන් පැවැත්වෙන ICC කාන්තා එක්දින ශූරතාවයට ද ඇතුළත් එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී. සරා Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි. අනතුරුව පැවැත්වෙන විස්සයි තරගාවලියේ සියලු තරග කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ තරග කාල සටහන

  • අප්‍රේල් 29 – පළමු එක්දින තරගය
  • මැයි 2 – දෙවැනි එක්දින තරගය
  • මැයි 4 – තෙවැනි එක්දින තරගය
  • මැයි 7 – පුහුණු විස්සයි විස්ස තරගය CCC පිටියේ දී.
  • මැයි 9 – පළමු විස්සයි විස්ස තරගය
  • මැයි 11 – දෙවැනි විස්සයි විස්ස තරගය
  • මැයි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය

බංග්ලාදේශය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 52කට සහභාගී වී ඇති අතර ඉන් තරග 14ක් ජයග්‍රහණය කිරීමටත් සහ තරග 4ක් විසඳුමකින් තොරව අවසන් කිරීමටත් සමත් ව තිබෙනවා. ඒ අතර පරාජිත තරග 34ක් ද එකතු වෙනවා.

ඔවුන්ගේ විස්සයි විස්ස තරග ලැයිස්තුව තරග 96කින් සමන්විතයි. ඉන් ජයග්‍රාහී තරග ගොන්නේ ඇත්තේ තරග 37ක් පමණක් වන අතර තරග 59ක් පරාජිත තරග ගොඩට වැටෙනවා.

බංග්ලාදේශයේ එක්දින සහ විස්සයි විස්ස තරග ගමන් මඟ
  ප්‍රතිවාදීන් කාලය එක්දින තරග විස්සයි විස්ස තරග
M W L NR M W L NR
1 ඕස්ට්‍රේලියාව 2020-2023 1 0 1 0 2 0 2 0
2 එංගලන්තය 2014-2022 1 0 1 0 3 0 3 0
3 ඉන්දියාව 2013-2022 5 0 5 0 13 2 11 0
4 අයර්ලන්තය 2011-2022 6 3 1 2 11 8 3 0
5 කෙන්යාව 2022-2022 0 0 0 0 1 1 0 0
6 මලයාසියාව 2018-2022 0 0 0 0 3 3 0 0
7 මාලදිවයින 2019-2019 0 0 0 0 1 1 0 0
8 නේපාලය 2018-2019 0 0 0 0 1 1 0 0
9 නෙදර්ලන්තය 2018-2019 0 0 0 0 2 2 0 0
10 නවසීලන්තය 2020-2023 4 0 2 2 5 0 5 0
11 පාකිස්තානය 2012-2022 12 6 6 0 16 1 15 0
12 පැපුවානිව්ගිනියාව 2018-2019 0 0 0 0 2 2 0 0
13 ස්කොට්ලන්තය 2018-2022 0 0 0 0 4 4 0 0
14 දකුණු අප්‍රිකාව 2012-2023 18 2 16 0 11 1 10 0
15 ශ්‍රී ලංකාව 2012-2023 1 0 1 0 9 2 7 0
16 තායිලන්තය 2018-2022 0 0 0 0 6 6 0 0
17 UAE 2018-2018 0 0 0 0 1 1 0 0
18 ඇමෙරිකාව 2019-2022 0 0 0 0 2 2 0 0
19 බ. ඉ. කොදෙව් 2014-2018 1 0 1 0 3 0 3 0
20 සිම්බාබ්වේ 2021-2021 3 3 0 0 0 0 0 0

(M- තරග, W- ජයග්‍රහණ, L- පරාජිත, NR- විසඳුමක් නැති)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම්, ද්විත්ව රටවල් නියෝජනය කරමින් එක්දින තරගාවලියක් වෙනුවෙන් පළමු වරට හමුවෙන්නේ මෙම තරගාවලියෙන්. ඔවුන් මීට පෙර 2017 වසරේ දී ICC කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එකිනෙකා හමුවෙනවා.

එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 42ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉනෝකා රණවීර විසින් ද බංග්ලාදේශ කණ්ඩායම Rumana Ahmed විසින් ද මෙහෙයවුවා.

බංගලි කාන්තාවෝ මෙම තරගාවලියත් සමඟ එක්වෙන්නේ ඔවුන් සහභාගී වූ ආසන්ත ම තරග 5 පරාජය වී තිබෙන මානසිකත්වයකින්. එමෙන් ම ඔවුන් අවසන් වරට එක්දින තරගාවලියක් සඳහා එක් වී ඇත්තේ ද 2022 වසරේ දී.

දෙරට අතර එක්දින තරග අතීතය ඒ ලෙසින් සැකසෙද්දී, විස්සයි විස්ස ජාත්‍යන්තර ලැයිස්තුව සැකසෙන්නේ දෙරටේ ක්‍රීඩිකාවන් සහභාගී වූ තරග 9කින්. එම තරගවලින් තරග 7ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙද්දී තරග 2ක ජයග්‍රහණය බංග්ලාදේශය සතු වෙනවා.

දෙරටේ ක්‍රීඩිකාවෝ අවසන් වර මේ වසරේ පෙබරවාරියේ දී විස්සයි විස්ස ලෝක කුසලානයේ දී හමුවෙන අතර එම තරගයෙන් ශ්‍රි ලංකාව කඩුලු 7ක ජයක් ලබා ගන්නවා. මෙරට පැමිණි බංගලි කතුන් මෙම තරගාවලියට එක්වෙන්නේ ආසන්නත ම තරග 9 දී  පරාජයන් ලබමින්.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම: Nigar Sultana Joty (නායිකා), Fargana Hoque Pinky, Shamima Sultana, Fahima Khatun, Murshida Khatun, Jahanara Alam, Sanjida Akther Maghla, Sobhana Mostary, Lata Mondol, Shorna Akter, Nahida Akter, Fariha Islam Trishna, Ritu Moni, Disha Biswas, Rabeya Khan, Sultana Khatun.

Nigar Sultana Joty

බංග්ලාදේශයේ 5 වැනි එක්දින නායිකාව ලෙසත් සහ සිව්වැනි විස්සයි විස්ස නායිකාව ලෙසනුත් ඇය මෙම තරග සංචාරය සඳහා එක් වෙන්නේ.

මේ දක්වා එක්දින තරග 12කට නායකත්වය ලබා දෙමින් ඉන් තරග 3ක් ජයග්‍රහණ කරා රැගෙන යෑමටත්, තරග 2ක් විසඳුමකින් තොරව අවසන් කිරීමටත් ඇයට හැකි වෙනවා. ඊට අමතර ව පරාජිත තරග 7ක් ද ඊට එක් වෙනවා.

විස්සයි තරග ඉතිහාසයේ මේ දක්වා තරග 21කට නායක්තවය ලබා දෙමින් ඉන් තරග 10ක් ජයග්‍රහණය කරා මෙහෙය වීමට ඇයට හැකි වෙනවා. ඉතිරි තරග 11 දී පරාජිතවයි අවසන් ව ඇත්තේ.

කණ්ඩායමේ නායකත්වයට අමතර ව කඩුලු රකින්නිය ලෙස ද කටයුතු කරන 25 හැවිරිදි වියේ පසුවෙන ඇය මේ දක්වා එක්දින තරග 33කට සහභාගී වී ලකුණු 611ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 73කට සහභාගී වී මැලේසියා කණ්ඩායමට එරෙහිව ශතකයක් ද සමඟින් ලකුණු 1348ක් ලබා ඇති ක්‍රීඩිකාවක්.

ඇය බංග්ලාදේශ පිතිකරු දක්ෂතා ලැයිස්තුවේ තෙවැනි අසුන හිමිකර ගත් ක්‍රීඩිකාවයි.

මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කර ඇති එක ම එක්දින එක් තරගයට ද සහභාගී වී ඇති ඇය, විස්සයි විස්ස තරග 7කට ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 129ක්.

Fargana Hoque Pinky

ඉදිරිපෙළ දකුණත් පිතිකාරිනියක් ලෙසින් කණ්ඩායම හා එක්වෙන Fargana Hoque Pinky මේ දක්වා එක්දින තරග 51ක දී අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1035ක් ලබා සිටිනවා. බංග්ලාදේශය වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු ලබා ඇත්තේ ඇයයි. බංග්ලාදේශය සහභාගී වූ තරග 52න් 51කට ම ඇය සහභාගී වී තිබීම ද විශේෂත්වයක්.

විස්සයි විස්ස පිටියේ ඇයගේ දක්ෂතාව තරග 83ක දී ලකුණු 1243ක්. ඒ අතරට මාලදිවයිනට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 110ක් ද ඇතුලත්. ශ්‍රී ලංකාව සමඟ තරගවල ඇයගේ දක්ෂතා එතරම් ම නොමැති අතර ඊට එක්දින තරගයක් සහ විස්සයි විස්ස තරග 6ක් ඇතුලත්.

Jahanara Alam

30 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Jahanara Alam කණ්ඩායමේ සුවිශේෂී පන්දු යවන්නියක්. ඇය සතුවට එක්දින තරග 50ක දී කඩුලු 46ක් සහ විස්සයි විස්ස තරග 77ක දී කඩුලු 47ක් සතු වෙනවා. මෙම දක්ෂතා බංග්ලාදේශ ක්‍රිකට් වාර්තා පොතේ සටහන් වෙන්නේ පිළිවෙළින් තෙවැනි සහ සිවුවැනි දක්ෂතා ලෙසයි.

ශ්‍රී ලංකාව හා සමඟ සහභාගී වූ එක් දින තරගයේ ද අසුනක් හිමිකර ගත් ඇය විස්සයි විස්ස තරග 7ක කඩුලු 8ක් දවාගෙන තිබෙනවා.

Lata Mondol

30 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Lata Mondol බංග්ලාදේශ කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසයි. මේ දක්වා ඇය එක්දින තරග 31ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 454ක් සහ කඩුලු 13ක් ද විස්සයි විස්ස තරගවල දී තරග 47ක දී ලකුණු 328ක් සහ කඩුලු 5ක් ද දවා ගනිමින් බංග්ලාදේශ දක්ෂතා ලැයිස්තුවේ ඉහළින් ශ්‍රේණිගත වූ ක්‍රීඩිකාවන් අතරට වී සිටිනවා.

Nahida Akter

තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසින් දක්ෂතා දක්වන Nahida Akter ද බංග්ලාදේශ කණ්ඩායමේ ඉරණම තමන්ගේ පැත්තට නම්මවා ගැනීමට හැකි ක්‍රීඩිකාවක්. 25 හැවිරිදි ඇය මේ දක්වා එක්දින තරග 29ක දී කඩුලු 31ක් සහ විස්සයි විස්ස තරග 61ක දී කඩුලු 72ක් තමන් සතු කරගෙන තිබෙනවා.

වමතින් දඟපන්දු යවන ඇය දකුණතින් පිත්ත හැසිරවීමේ ද දක්ෂතා දක්වන්නියක් ලෙසින් ද ප්‍රචලිතයි.

එමෙන් ම 30 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Ritu Moni බංග්ලාදේශයේ ලකුණු පුවරුවට බලපෑම් කළ හැකි ක්‍රීඩිකාවක් ලෙසින් ප්‍රචලිතයි. ඇය මේ දක්වා එක්දින තරග 29කට සහභාගී වෙමින් ලකුණු 305ක් සහ කඩුලු 13ක් ද විස්සයි විස්ස තරග 50කට සහභාගී වෙමින් ලකුණු 250ක් සහ කඩුලු 20ක් ද දවාගෙන තිබෙනවා.

මොවුන්ට අමතරව පන්දු යවන්නියන් ලෙසින් 30 හැවිරිදි වියේ පසුවෙන පා දඟපන්දු යවන Fahima Khatun, එක්දින කඩුලු 12ක් සහ විස්සයි විස්ස කඩුලු 35ක් දවා ගනිමින් ද, 21 වැනි වියේ පසුවෙන පා දඟපන්දු යන්නියක් වන  Sanjida Akther Maghla විස්සයි විස්ස පිටියේ කඩුලු 15ක් ද ලබා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ දක්ෂයන්ගේ ලැයිස්තුවට එක් ව සිටිනවා.

පිතිකාරිනියන් අතරින් 23 හැවිරිදි වමත් ආරම්භක පිතිකාරිනි Murshida Khatun කණ්ඩායම හා එක් ව සිටින්නේ එක්දින තරග 14ක දී ලකුණු 193ක් සහ විස්සයි විස්ස තරග 29ක දී ලකුණු 543ක් ලබා ගනිමිනි. එමෙන් ම 16 වැනි වියේ පසුවෙන Shorna Akter සහ කෝඩුකාරියක් ලෙසින් තරගාවලියට එක් වෙන Sultana Khatun ද ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නියන් ලෙසින් සැලකෙනවා.

මොවුන් සමඟින් තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම තරග ඉතිහාසයේ එක්දින තරග 173කට සහභාගී වෙමින් ඉන් තරග 57ක් ජයග්‍රහණය කරමින් ද තරග 111ක් පරාජිත තරග ලෙසින් ද සහ තවත් තරග 5ක් පරාජිත තරග ලෙසින් ද අවසන් කර තිබෙනවා.

විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහභාගී වී ඇති තරග සංඛ්‍යාව 125ක් වන අතර ඉන් තරග 36ක් ජයග්‍රහණය කරන අතර තරග 95ක් පරාජය වෙමින් ද සහ තරග 4ක් විසඳුමකින් තොරව ද අවසන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් සඳහා එක් වෙන්නේ 2022 ජූලි මාසයේ පැවති ඉන්දීය සංචාරයෙන් අනතුරුව වන අතර විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක් වෙන්නේ මේ වසර ආරම්භයේ දී පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පසුවයි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවන් අතරින් නායිකා චමරි අතපත්තු ඉදිරියෙන් ම සිටිනවා. ඇයට අමතර ව යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, ඉනෝකා රණවීර සහ ඕෂදී රණසිංහ ද ඇතුලත් වෙනවා.

චමරි අතපත්තු

ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවරිය වන චමරි අතපත්තු මේ වන විට එක්දින තරග 90කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 110කට සහභාගී වෙමින් මේ තරගාවලිය හා එක්වනවා. එක්දින ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 2840ක්  මෙන් ම විස්සයි විස්ස ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 2299ක් ඇය සන්තකයි. බංග්ලාදේශය සමඟ පැවති එක ම එක්දින තරගයේ දී ඇය අර්ධ ශතකයක් වාර්තා කරන ලද අතර විස්සයි විස්ස තරග 8ක දී ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 168ක්.

පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය එක්දින කඩුලු 27ක් සහ විස්සයි විස්ස කඩුලු 34ක් ලබා සිටී.

විශ්මි ගුණරත්න

ජාත්‍යන්තර තරග අත්දැකීම් අඩු වූවත් 22 හැවිරිදි වියේ පසුවෙන විශ්මි ගුණරත්න ආරම්භක පිතිකාරිනියක් ලෙසින්  දක්වන දක්ෂතා අගය කළ යුතුයි. මෙම තරගාවලිය ඇයට තමන්ගේ දක්ෂතා ක්‍රිකට් කරලියේ තැබීම කදිම අවස්ථාවක් වනු ඇත.

හසිනි පෙරේරා

27 වැනි වියේ පසුවෙන වමත් පිතිකාරිනියක් වන හසිනි පෙරේරා, එක්දින තරග 38ක දී ලකුණු 538ක් සහ විස්සයි විස්ස තරග 56ක දී ලකුණු 550ක් ලබා ඇති ක්‍රීඩිකාවක්.

ඉනෝකා රණවීර

කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පන්දු යවන්නිය වන්නේ 37 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන ඉනෝකා රණවීර. ඇය මේ දක්වා එක්දින තරග 65කට සහභාගී වෙමින් කඩුලු 70ක් සහ විස්සයි විස්ස තරග 66ක දී කඩුලු 73ක් ලබා ඇති ක්‍රීඩිකාවක්.

ඕෂදී රණසිංහ

37 හැවිරිදි ඕෂදී රණසිංහ  තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතුරින් පෙරමුණේ සිටිනවා. ඇය මේ දක්වා එක්දින තරග 29ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 298ක් ද සහ කඩුලු 25ක් දවාගෙන තිබෙනවා. එමෙන් ම විස්සයි විස්ස තරග 61කට මුහුණ දී ලකුණු 359ක් සහ කඩුලු 56ක් දවාගෙන තිබෙනවා.

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<