රෝස පැහැති ක්‍රිකට් පන්දුවේ ශ්‍රී ලංකා කල එළි දැක්ම සටහන්වෙයි

434
sri lanka cricket

ශ්‍රී ලංකාවේදී පළමුවරට රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙන ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර අද (ඔක්තෝබර් 4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

ලෝක ක්‍රිකට් කරලියට අලුතින්ම එකතු වූ අංගයක් වන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා භාවිත කරන්නේ රෝස පැහැයෙන් යුතු පන්දුවකි. මේ කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු සිවු දින ක්‍රිකට් තරගය සඳහා රෝස පැහැයෙන් යුතු කුකබුරා පන්දුව භාවිතා කිරීමට ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙස නොව සාමාන්‍ය දිවා සිවුදින තරගයක් ලෙසිනුයි. ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම් අතර පැවැත්වෙන සිවු දින තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරග සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව අනාවරණ කෙරුණි.

ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා දෙවන පෙළ ක්‍රීඩකයන් සූදානම් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධාන කර ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමක් 2014 ශ්‍රී ලංකා සංචාරයෙන් පසු විදෙස් තරගාවලියකට එක් වන පළමු අවස්තාව මෙය වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා  A කණ්ඩායමේ නායකයා  මෙන්ම ආරම්භක පිතිකරු ලෙසද කටයුතු කරන්නේ දිමුත් කරුණාරත්නයි. ඔස්ට්‍රේලියාව සමග පැවති පසුගිය ටෙස්ට් තරගාවලියේ ඉනිම 6කදී ලකුණු 41ක් පමණක් ලබා ගැනීමට සමත් වූ දිමුත්ට යලිත් පිත්තට පන දීමට මෙම තරගාවලිය ඉතා වැදගත් වන්නේ එළඹෙන සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකා තරග සංචාර සඳහා කණ්ඩායමේ ස්ථානයක් වෙන් කර ගැනීමට නම් යලිත් ලකුණු අතරට පැමිණීම අනිවාර්ය කරුණක් වන නිසාවෙනුයි.

දිමුත්ගේ ආරම්භක පිතිකරණ සගයා බවට පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින්නේ වේගවත් වමත් පිතිකරුවකු වන කණ්ඩායමේ උපනායක කුසල් ජනිත් පෙරේරා හටයි.

මෙය අපි රෝස පාට පන්දුවෙන් ක්‍රීඩා කරන පළමු අවස්ථාවයි. අපි දින දෙකක් පමණ එම පන්දුවෙන් පුහුණුවීම් කටයුතු වල නිරත වුනා. මම හිතන්නේ නෑ එම පන්දුවත් පරණ වුනාට පස්සේ ලොකු වෙනසක් තියේවි කියලා. නමුත් සමහර විට එය රතු පැහැති පන්දුවට වඩා මදක් අමාරු වෙයි .මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් නායක දිමුත් කරුණාරත්න පැවසීය.

පසුගිය ජුනි මාසයේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටින ලහිරු තිරිමාන්න නැවතත් ජාතික කණ්ඩායමට එක්වීමේ අරමුණින් මෙම තරගාවලියට එක් වනු ඇත. කෙසේ වෙතත් තිරිමාන්න සමග මෙම කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් ලෙස කටයුතු කරන රොෂේන් සිල්වා සහ 19න් පහල කණ්ඩායම් නායක චරිත් අසලංකද මෑත කාලීනව විශිෂ්ට දස්කම් පෙන්වමින් ජාතික කණ්ඩායමේ එළිපත්තටම පැමිණ සිටින ක්‍රීඩකයන් දෙපළකි.

මෙම කණ්ඩායමේ සිටින 19න් පහල වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර වෙත කඩුලු දඩයමේ වැඩි බරක් පැවරෙනු ඇති බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි. ඊට අමතරව කුසල් මෙන්ඩිස් 19න් පහල නායකත්වය දරන සමයේ එම කණ්ඩායම නියෝජනය කල, දැන් 21 හැවිරිදි වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අනුක් ප්‍රනාන්දු හටද මෙම තරගාවලියේදී වැඩි අවධානයක් යොමුව තිබේ. ජාතික කණ්ඩායමේ එළඹෙන තරග සංචාර ඉලක්ක කර ගනිමින් මෙම තරගාවලියේදී වේග පන්දුවට්ග ප්‍රමුඛත්වයක් දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පවසයි.

තරග ජයග්‍රහණය සඳහා ක්‍රීඩා කරන අතරම අපේ ප්‍රධානතම අරමුණ වන්නේ ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි. සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකා තරග සංචාර සඳහා වේග පන්දු යවන ක්‍රීඩකයන් රැසක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ තරගාවලියේදී වේග පන්දු යවන්නන් වැඩිපුර භාවිත කරන්න. 19න් පහල ක්‍රීඩකයන් වන අසිත සහ ලහිරු පසුගිය මාස 6ක කාලය තුල ඉතා හොඳ දියුණුවක් පෙන්නුම් කළා. මම ඉතා ඉහල බලාපොරොත්තු ඇතිව සිටින්නේ ඔවුන් A කණ්ඩායම සමග ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීම සඳහා. ඒ වගේම තමයි තරුණ අනුක් ප්‍රනාන්දු, ඔහුත් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේදී හොඳින් ක්‍රීඩා කළා.අවිශ්ක වැඩිදුරටත් පවසයි.

පළමු සිවු දින තරග 2 සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා,නිරෝෂන් දික්වැල්ල,අසේල ගුණරත්න, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසුරිය, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, විමුක්ති පෙරේරා, කසුන් මධුශංක.

බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම

අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රැසක්ද ඇතුලත් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිවු දින තරගාවලියේදී තරග වදින්නේ දකුණත් මැදපෙළ පිතිකරු ශම්රා බෲක්ස්ගේ නායකත්වය යටතේයි. එක්දින තරගාවලියේදී කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් මොහොමඩ් හට පැවරී තිබේ.

වේග පන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයායි. ඊට අමතරව ඉන්දියාව සමග පැවතී ටෙස්ට් තරගාවලියේ අසාර්ථකත්වය හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ආරම්භක පිතිකරු රාජේන්ද්‍ර චන්ද්‍රිකද මෙම කණ්ඩායමට ඇතුලත් වනවා. පසුගිය වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ශිම්රන් හෙට්මයර් කොදෙව් A කණ්ඩායමේ සිටින යොවුන් ක්‍රීඩකයන් අතරින් ප්‍රධාන තැනක් ගනී.

වමත් දඟ පන්දු යවන ක්‍රීඩක වීරසාමි පෙරුමාල්, ආක්‍රමණශීලී පිතිකරු අන්ඩ්‍රේ ෆ්ලෙචර් සහ කඩුලු රකින ක්‍රීඩක චැඩ්වික් වෝල්ටන් වැනි ක්‍රීඩකයන් එක්දින තරගාවලිය සඳහා කොදෙව්වන් සමගින් එක්වීමට නියමිතයි.

මම කොදෙව් දේශයේ පළමු පෙළ තරග කිහිපයකදී රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ඒ ඩියුක් පන්දු. එය පන්දුවාර කිහිපයකට පසු දැක ගැනීම අපහසු තත්ත්වයක් ඇතිවෙනවා. නමුත් මෙහෙදී භාවිතා කරන්නේ කුකබුරා පන්දුව, එය තරමක් තද පැහැයකින් යුක්තයි. ඉතින් මම හිතනවා ප්‍රශ්නයක් වෙන එකක් නැ කියලා. මේ අභියෝගය බාර ගන්න සූදානමින් සිටිනවා.කොදෙව් A කණ්ඩායම් නායක බෲක්ස් රෝස පැහැති පන්දුවේ අභියෝගය පිලිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් A සිවුදින සංචිතය  – ශම්රා බෲක්ස් (නායක), විශාල් සිං (උප නායක), රාජේන්ද්‍ර චන්ද්‍රිකා, කිරන් පවෙල්, ඒවින් ලුවිස්, ශිම්රන් හෙට්මයර්, ඩේමියන් ජේකබ්ස්, රකීම් කෝර්න්වෝල්, ගුදාකේෂ් මෝටි, කෙමාර් රෝච්, කෙඕන් ජෝසප්, ඩෙලෝන් ජොන්සන්, රේනාඩ් ලෙවරිජ්, ජාමාර් හැමිල්ටන්

බටහිර ඉන්දීය කොදෙව් A එක්දින සංචිතය – ජේසන් මොහොමඩ් (නායක), අන්ඩ්‍රේ ෆ්ලෙචර් (උප නායක), රොන්ස්ෆර්ඩ් බීටන්, කෙස්රික් විලියම්ස්, කයිල් මේයර්ස්, රෝව්මන් පවල්, කයිල් හෝප්, චැඩ්වික් වෝල්ටන්, අන්ඩ්‍රේ මැකාති, අසාද් ෆුදාදීන්, වීරසාමි පෙරුමාල්, ජොන්-රස් ජගේසර්, ඩේමියන් ජේකබ්ස්, ඩෙලෝන් ජොන්සන්.

තරග කාල සටහන

  • පළමු සිවු දින ක්‍රිකට් තරගය – ඔක්තෝබර් 4 සිට 7 දක්වා – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • දෙවන  සිවුදින ක්‍රිකට් තරගය – ඔක්තෝබර් 11 සිට 14 දක්වා – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • තෙවන සිවුදින ක්‍රිකට් තරගය – ඔක්තෝබර් 18 සිට 21 දක්වා – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • පළමු එක්දින ක්‍රිකට් තරගය – ඔක්තෝබර් 24 – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • දෙවන එක්දින ක්‍රිකට් තරගය – ඔක්තෝබර් 27 – කුරුණෑගල වෙලගෙදර  ක්‍රීඩාංගනය
  • තෙවන එක්දින ක්‍රිකට් තරගය – ඔක්තෝබර් 30 – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට