බ්ලූ ස්ටාර් ශූරතා සිහිනය යුධ හමුදාව බොඳ කරයි

561

පුරා මාස ගණනාවක් ඇඳී ආ 2016/17 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ අවසන් සතියේ තරග අද (04) සාර්ථකව නිමා විය. ඒ අතුරෙන් ප්‍රථමයෙන් පැවති බ්ලූ ස්ටාර් සහ යුධ හමුදාව අතර තරගයෙන් ගෝල 07-03ක් ලෙස යුධ හමුදාව ජයග්‍රහණය වාර්තා කලේ බ්ලූ ස්ටාර් සමාජයේ ශූරතා බලාපොරොත්තුව සිහිනයක් පමණක් කරමිනි.

DCL 16 සුපර් 8: 7 වන සතිය – ශූරතාවයට තුන්කොන් සටනක්

2016/17 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් සතියේ අවසන් තරග දෙකේ දී මෙවර තරගාවලියේ හොඳම කණ්ඩායම් 4 තරග වදින්නේ ආශ්වාදජනක තරගාවලියකට තරගකාරීත්වයේ උච්චතම අවසානයක් සටහන් කිරීමේ මග විවර කරමිනුයි..

කොළඹ තුරග තරග ක්‍රීඩා පිටියේ දී සවස 03.30 පමණ ආරම්භ වුනු තරගයේ මිනිත්තු 05ක් යන්නටත් මත්තෙන් ගෝලයක් වාර්තා කරන්නට යුධ හමුදා ක්‍රීඩක මොහොමඩ් ඉසඩීන් සමත් විය.

ඉන් සුළු මොහොතකට පසුව යුධ හමුදාවට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර ඉසඩීන් විසින් සාර්ථකව පන්දුව දැල තුලට යොමු කරමින් දෙවැනි ලකුණත් යුධ හමුදාවට ලබා දෙන ලදි.

තරගයේ මිනිත්තු 21ක් වන තැන ගෝල පරතරය 3ක් දක්වා වර්ධනය කර ගැනීමට යුධ හමුදාව සමත් වූයේ මධුෂාන් ද සිල්වා එල්ල කල පහර බලගමගේ ශිවංක විසින් සාර්ථකව සාජිත් කුමාර වෙත යොමු කල අතර ඔහු විසින් කිසිදු අත්වැරැද්දකින් තොරව බ්ලූ ස්ටාර් දැල තුලට පන්දුව යොමු කිරීමත් සමඟිනි.

ඉන් තවත් මිනිත්තු 2ත් ගෙවී යන්නටත් මත්තෙන් කුමාර සිය දෙවැනි ගෝලය ද වාර්තා කරමින් ලකුණු පරතරය 04-00ක් දක්වා වර්ධනය කලේ බ්ලූ ස්ටාර් කණ්ඩායම අන්ත අසරණ තත්වයකට පත් කරමිනි.

කෙසේ නමුත් ප්‍රථම අර්ධය නිමා වීමට මත්තෙන් බ්ලූ ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කරන්නට ඉඩුවෝ හමීඩ් සමත් විය. ඒ තරගයේ 32 වැනි මිනිත්තුවේදීයි.

ප්‍රථම අර්ධය: බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 01 – 04 යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ද ජවයෙන් සහ උද්යෝගයෙන් යුතුව ආරම්භ කල කණ්ඩායම් දෙකම තවත් ගෝල වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගන්නට වෑයම් කරනු දක්නට ලැබුනි.

ප්‍රථම අර්ධයේ යම් පසු බෑමකට ලක්ව සිටි බ්ලූ ස්ටාර් කණ්ඩායම විසින් දෙවැනි අර්ධයේ ලකුණු පුවරුව ආරම්භ කලේ මොහොමඩ් නජීම් විසින් සාර්ථක කර ගත් නිදහස් පහරත් සමඟිනි. ඒ අනුව ලකුණු පරතරය දෙකක් දක්වා අඩු වූ අතර යුධ හමුදාව විසින් නැවතත් සිය බලය විදහා දක්වමින් ලකුණු පරතරය තුනක් දක්වා වැඩි කර ගැනීමට උත්සාහ දැරීය. එම උත්සාහය සාර්ථක වෙමින් යුධ හමුදා ක්‍රීඩක මදුෂාන් ද සිල්වා ඉසඩීන් විසින් සාර්ථකව යොමු කල පන්දුව ගෝලය තුලට යොමු කරමින් පස් වැනි ගෝලයත් සාර්ථක කර ගන්නා ලදි.

තරගයේ තවත් මිනිත්තු 10ක් පමණ ගත වන තැන යුධ හමුදා කණ්ඩායමේ ලකුණු පුවරුව 6ක් දක්වා වැඩි කිරීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩක ශිවංක සමත් වූයේ සිය කණ්ඩායමේ දැල වෙතම ගෝලයක් වාර්තා කිරීම නිසාවෙනි.

කෙසේ නමුත් තරගය නිමා වීමට ආසන්නව තිබිය දී ඉසඩීන් හැට්‍රික් එකක් සාර්ථක කර ගත්තේ 90 වැනි මිනිත්තුවේ දී ඔහු වාර්තා කල තෙවැනි උත්සාහක දිනුමත් සමඟයි. තරගය නිමා වීමට මත්තෙන් ඊ.බී. චන්න තවත් ගෝලයක් සාර්ථක කර ගනිමින් බ්ලූ ස්ටාර් කණ්ඩායමට තෙවැනි ගෝලය උරුම කර දෙන ලදි.

අවසන් ලකුණු තත්වය: බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 03 – 07 යුධ හමුදා ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

යුධ හමුදාව:

  • මොහොමඩ් ඉසඩීන් (5’,9’, 90’)
  • සාජිත් කුමාර (21’,23’)
  • මදුෂාන් ද සිල්වා (62’)
  • ශීවංක OG (85’)

බ්ලූ ස්ටාර්

  • මොහොමඩ් නජීම් (48’)
  • ඉඩුවෝ හමීඩ් (32’),
  • ඊ. බී. චන්න

කහ කාඩ්පත්

  • යුධ හමුදාව: බණ්ඩාර වරකාගොඩ (40’ , රොශාන් අප්පුහාමී (40’), කීර්ති කුමාර (40’)
  • බ්ලූ ස්ටාර්: ෆාහිර් අලී (60’)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට