යාපනය උතුරේ කිරුළ දිනද්දී මහනුවර හමුවේ මඩකලපුව මවිත වෙයි

23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය 2023

152

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතයට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා අන්තර් දිස්ත්‍රික් තරග මාලාවේ තවත් තරග රැසක් පසුගිය දා (12, 13 සහ 14 දිනවල දී) ක්‍රියාත්මක වුනා.

එහි දී පැවති තරග අතරින් මන්නාරම් කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායම කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට සමත් වුනු අතර මෙම තරග ජය යාපනය කණ්ඩායම මූලික වටයේ ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් වුනා.

යාපනය කණ්ඩායම මූලික වටය යටතේ තරග වැදි සිව්වැනි තරගය බවට පත් වුණු එම තරගයේ ලද ජයත් සමඟ උතුරු පළාත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ එහි ශූරතාවය දිනා ගත්තා. ඔවුන් එම කාණ්ඩයේ අපරාජිත එකම කණ්ඩායම වන අතර වර්ෂාව හේතුවෙන් එක් තරගයක් විසඳුමක් රහිතව නිමාව දුටුවා.

මීට අමතරව නුවරඑළිය සහ මඩකලපුව අතර පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නුවරඑළිය කණ්ඩායම පන්දුවාර 15කුත් පන්දු 2ක දී ලකුණු 66ක් වාර්තා කළ අතර එය හඹා යෑමේ දී මඩකලපු කණ්ඩායම පන්දුවාර 17.2යි කඩුලු 8ක දී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

මෙහි විශේෂත්වය වූයේ තරගය ජය ගත් මඩකලපු කණ්ඩායමේ එකඳු පිතිකාරිණියක් හෝ ලකුණු 10 සීමාව හෝ පසු නොකර තරග ජය ගැනීමයි. ඊට ප්‍රධානම හේතු කාරක වූයේ නුවරඑළිය කණ්ඩායමේ පන්දු යවන්නියන් විසින් Wide පන්දු 37 ක්, නිපන්දු (No Ball) 2ක් සහ කඩුලු රැකීමේ දී ගිලිහෙන Byes ලකුණු 2කින් අතිරේක ලකුණු 42ක් ලබා දීමයි.

එසේම එම තරග අතරින් වැඩිම අවධානයක් දිනා ගත් තරගය වූ මඩකලපුව සහ මහනුවර තරගයේ ඇති විශේෂත්වය වූයේ මඩකලපු කාන්තා කණ්ඩායම ලකුණු 07කට සීමා කිරීමට ඉසිරි මීගම්මන ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නියන් සමත් වීමයි. මඩකලපු ඉනිම පන්දුවාර 8කුත් පන්දු 2කට  සීමා වෙද්දී ඔවුන්  වෙනුවෙන් ලකුණු වාර්තා කිරීමට සමත් වූ එකම පිතිකාරිණිය වූයේ වින්මතී කතිරගමත්තම්බි (04) පමණයි.

සෙසු සියලුම පිතිකාරිණියන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට මහනුවර පන්දු යවන්නියන් සමත් වීම කැපී පෙනුණා. පන්දු යැවීමේ දී ඉසිරි මීගම්මන පන්දුවාර 4ක දී නිලකුණු පන්දුවාර 3ක් ද සමඟ එක් ලකුණකට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

එය හමා යෑමේ දී රැස්කර ගත යුතුව තිබූ ලකුණු 08ක් ද රැස්කර ගැනීමේ දී ඉන් ලකුණු 6ක්ම අතිරේක ලකුණු වලින් මඩකලපු ක්‍රීඩිකාවන් ලබා දීම ද කැපී පෙනුණා. Wide පන්දු 5ක් සහ නිපන්දුවකින් මහනුවර කණ්ඩායමට අතිරේක ලකුණු ලැබෙද්දී පන්දුවාර 2කුත් පන්දුවක් අවසානයේ දී ජයග්‍රහණය සනිටුහන් වන විට කඩුලු 10ම ඉතිරිව තිබුණා.

මීට අමතරව අම්පාරට එරෙහි තරගය කඩුලු 4කින් ජය ගැනීමට නුවරඑළි කණ්ඩායම සමත් වුනු අතර, මැයි 12 වැනිදා පැවති තරගවල දී පොළොන්නරුව විසින් පුත්තලම කණ්ඩායම ලකුණු 13කින් ද, කෑගල්ල විසින් ත්‍රිකුණාමලය කඩුලු 9කින් ද, කුරුණෑගල විසින් මාතලේ කණ්ඩායමට එරෙහිව ලකුණු 67කින් ද ජයග්‍රහණ වාර්තා කළා.

මන්නාරම සහ යාපනය

  • මන්නාරම – 65/10 (19.5): ටී. රිතානා 26, මුරලිතසන් මතුරිකා 3/13, රත්නේෂ්වරන් නිතර්ෂනා 3/11, සෙල්වරාසා ක්‍රිස්ටිගේ 2/16
  • යාපනය – 69/0 (10.5): බාස්කරන් ශානු 31*, මුරුගනාතන් ෂර්මිලී 17*

යාපනයට කඩුලු 10ක ජයක්

මඩකලපුව සහ නුවරඑළිය

  • නුවරඑළිය – 66/10 (15.2): සුකිර්තා රවිචන්ද්‍රන් 4/18, ජුලියාන් ජෙසුදාසන් 3/13
  • මඩකලපුව – 67/8 (17.2): රශ්මි සමාර 2/12, භාග්‍යා සඳදෙව්මිණි 2/22

මඩකලපුවට කඩුලු 2ක ජයක්

පොළොන්නරුව සහ පුත්තලම

  • ‌පොළොන්නරුව – 107/5 (20): හිරුෂිකා නිමන්ති 33, ජනනි මයුරිකා 30, දිලීමා නෙත්මිනි 3/24
  • පුත්තලම- 94/10 (16.3): ඩෙලීමා නෙත්මි 21, අදිති රන්දිනී 16, සුභාන්‍යා නිශාදි 3/24, හිරුෂිකා නිමන්ති 2/10

‌පොළොන්නරුවට ලකුණු 13ක ජයක්

ත්‍රිකුණාමලය සහ කෑගල්ල

  • ත්‍රිකුණාමලය – 47/10 (16.2): කාවින්ද්‍යා ප්‍රභාසිනී 2/10, නදීෂානි සෙනෙවිරත්න 2/14
  • කෑගල්ල – 48/1 (9.5): ඉමාෂා මිහිරංගි 15*

කෑගල්ලට කඩුලු 9ක ජයක්

මාතලේ සහ කුරුණෑගල

  • කුරුණෑගල – 131/4 (20): මනීෂා සකුමිනි 37, අශානි කෞෂල්‍යා 27
  • මාතලේ – 64/7 (20): බුද්ධිනී දිසානායක 28*, හංසිකා නිපුනි 2/04, අශානි කෞෂලයා 2/14

කුරුණෑගලට ලකුණු 67ක ජයක්

මඩකලපුව සහ මහනුවර

  • මඩකලපුව – 07/10 (8.2): ඉසිරි මීගම්මන 5/01, නිමේෂිකා සෙනෙවිරත්න 2/05
  • මහනුවර – 08/0 (2.1):

මහනුවර කණ්ඩායමට කඩුලු 10ක ජයක්

අම්පාර සහ නුවරඑළිය

  • අම්පාර – 35/10 (9.5): එන්. සඳුනිකා 3/00, ඩී. කිරුෂාන්ති 3/17
  • නුවරඑළිය – 36/5 (14.5): මල්ෂානිනී සෙනුමිනී 3/07, එස්.පී. මෙත්සරා 2/07

නුවරඑළියට කඩුලු 4ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<