පළමු ඉනිමේ වැඩි ගෞරවය ඉසිපතනයට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්රිකට් තරගාවලිය 2022/23

210

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරග දෙකක් අද (24) කොළඹ දී ක්‍රියාත්මක වුනා.

එම තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුනු අතර එක් තරගයක පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වුනා.

සාන්ත පීතර – ආනන්ද තරගයේ දිනය ආරම්භයේ දී ම සාන්ත පීතර පළමු ඉනිම අත්හිටවූ අතර එයට පිළිතුරු දීම ආරම්භ කළ ආනන්ද විද්‍යාලය පන්දුවාර 39ක් තුළ කඩුලු 2ක් දැවී ලකුණු 136ක් රැස්කර ගත්තා.

ඉන් අනතුරුව තරගය නැවතත් ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණේ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි. ඉරුත් ගිම්ශාන් සහ ඉඳුවර විජේරත්න පිළිවෙළින් ලකුණු 46*ක් සහ ලකුණු 37*ක් වාර්තා කරගෙන ආනන්ද පළමු ඉනිම ද ස්ථාවර මට්ටමක් වෙත රැගෙන එන්නට සමත් වුනා.

BRC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනු ඉසිපතන – ලුම්බිණි තරගයේ දෙවැනි දිනයේ පළමු පැය කිහිපය තුළ ඉසිපතන පළමු ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 57ක් තුළ දවා ගන්නට දුමිඳු සෙව්මිණ ඇතුළු ලුම්බිණි පන්දු යවන්නන් සමත් වුනා.

තේමිය ගුණරත්න නොදැවී රැස්කර ගත් ලකුණු 38* සහ දුශාන් මාලිංග රැස්කර ගත් ලකුණු 38 නිසාවෙන් ලුම්බිණි පළමු ඉනිම අභිබවා ඉසිපතන පළමු ඉනිම ඉදිරියට රැගෙන එන්නට හැකි වුනා. පන්දු යැවීමේ දී දුමිඳු සෙව්මිණ කඩුලු 4ක් දවා ගෙන දස්කම් දැක්වූවා.

අනතුරුව දෙවැනි ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් කඩුලු දෙකක දස්කමක් දැක්වූ මලිත් බිම්සර අර්ධ ශතකයක් ලබාගෙන ලකුණු 54ක් වාර්තා කරගත්තේ 4 පහර 3ක් සහ 6 පහර 5ක් සිය ඉනිමට ඇතුළත් කරගෙනයි.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සිතුක ගුණවර්ධන පළමු ඉනිමේ දවා ගත් කඩුලු 2ට අමතර දෙවැනි ඉනිමේ කඩුලු 3ක් ද දවා ගෙන දස්කම් දැක්වූවා.

සාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය – 350/7d (81): රුසඳ ගමගේ 170, කවික ජයසුන්දර 58, චමිඳු පෙරේරා 31, ඉසුරු අයේෂ් 4/64.

ආනන්ද විද්‍යාලය – 136/2 (39): ඉරුත් ගිම්ශාන් 46*, ඉඳුවර විජේරත්න 37*.

ලුම්බිණි විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

ලුම්බිණි විද්‍යාලය – 131 (51.5): පසිඳු මහීෂ 34, යෙසිත් කළුපහන 3/16, කෙවින් සැමුවෙල් 3/33, සිතුක ගුණවර්ධන 2/19. & 127/5 (26): මලිත් බිම්සර 54, සහන් කෞශල්‍ය 29, සිතුක ගුණවර්ධන 3/52.

ඉසිපතන විද්‍යාලය – 151 (43.5):තේමිය ගුණරත්න 38*, දුශාන් මාලිංග 38, තරුෂික අශෙල් 32, දුමිඳු සෙව්මිණ 4/42.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<