හැව්ලොක් ක්‍රීඩකයින්ට කන්ද උඩරටින් හොඳ සත්කාරයක්

1003

බුවනෙක උඩන්ගමුවගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය හේතුවෙන් 2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ මහනුවර සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ අතර පැවති තරගය ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය.

අද (16) තරගයේ ප්‍රතිඵලය 31-21ක් වූ අතර තරගය පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ය.

පොලිස් පිටියට ආ යුධ සෙබළු හිස් අතින් ගෙදර යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තයේ තවත් තරගයක් අද (15) කොළඹ…

මහනුවර සහ හැව්ලොක් යන කණ්ඩායම් ද්විත්වයම 2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මේ දක්වා තමන් මුහුණ දුන් තරග 5ම ජයගෙන තිබූ අතර වඩාත් නිවැරදි විනිශ්චයක් සඳහා මෙම තරගයේ විනිශ්චය කටයුතු සිදුකිරීමට අයර්ලන්ත ජාතික චාලි බ්‍රවුන් මහතා යොදා ගැනීම ද විශේෂ කරුණකි.

මෙවර තරග සමයේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ දක්ෂතා කෙබඳු වේ දැයි බොහෝ දෙනෙකු හට ප්‍රශ්නාර්ථයක් තිබුණ ද, එම සියලුම සැක සංකා දුරලමින් පෙර තරගවල දී මෙන්ම මෙම තරගයේදීත් මුල සිටම සිය අණසක පතුරවාලීමට මහනුවර කණ්ඩායමට හැකි විය.

තරගයේ පළමුවැනි උත්සාහක දිනුම වාර්තා කළේ මහනුවර කණ්ඩායමේ බුවනෙක උඩන්ගමුව විසිනි. ඒ තරගයේ 8 වැනි මිනිත්තුවේ දී ය. මහනුවර කණ්ඩායමේ ෂෙහාන් පතිරණ විසින් පන්දුව සහ උත්සාහක දිනුම වාර්තා කිරීමට අවශ්‍ය ඉඩකඩ උඩන්ගමුව වෙත ලබා දුන් අතර ඉතිරි කාර්යය උඩන්ගමුව විසින් සාර්ථකව සිදු කරන ලදි. තිලිණ විජේසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (මහනුවර 07-00 හැව්ලොක්)

එක් උත්සාහක දිනුමකින් නොනැවතුන උඩන්ගමුව තරගයේ 12 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එම අවස්ථාවේ දී හැව්ලොක් ක්‍රීඩකයන් සමඟ උරෙනුර ගැටීමට උඩන්ගමුවට සිදු වූවත් අවසානයේ දී ඔහු ජය ගත්තේය. දිනයේ සිය දෙවැනි උත්සාහක දිනුම උඩන්ගමුව විසින් වාර්තා කරන විට දිනයේ සිය දෙවැනි සාර්ථක ප්‍රවර්තනය සිදු කිරීමට මහනුවර කණ්ඩායමේ තිලිණ විජේසිංහට හැකි විය. (මහනුවර 14-00 හැව්ලොක්)

CR&FC කණ්ඩායමට ගුවන් හමුදාවෙන් ප්‍රබල තරගයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ලෙස CR&FC ක්‍රීඩා සමාජය සහ ගුවන්…

තරගයේ මුල් මිනිත්තු 10 තුළ දී දඬුවම් දිනුම් (penalties) තුනක් පමණ මහනුවර කණ්ඩායමට හිමි වීම සුවිශේෂී කරුණකි. මහනුවර කණ්ඩායම විසින් ඔවුන් වාර්තා කළ පළමු උත්සාහක දිනුම් දෙක වාර්තා කරන ලද්දේ ඔවුන්ට හිමි වූ දඬුවම් පහර දෙකක උපකාරය සෘජුවම ලබා ගනිමිනි.

කණ්ඩායම් දෙක අතරේ ලකුණු පරතරය තව තවත් වැඩි කරමින් 19 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. මෙවර හැව්ලොක් සීමා ඉර පසුකළේ මහනුවර ක්‍රීඩක අනුරුද්ධ විල්වර විසිනි. එහි ප්‍රවර්තනය තරමක් අපහසු කෝණයකින් යුතු වූවත් පිට පිටම සිය තෙවැනි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 21-00 හැව්ලොක්)

මෙම තරගය ඉතාමත් තියුණු තරගයක් වනු ඇතැයි ලංකාව පුරා සිටින රසිකයන් බලාපොරොත්තු වූවත් තරගයේ මුල් මිනිත්තු 20 තුළ දී ලකුණු 21ක ඉදිරියක් ලබා ඉතා හොඳ තත්ත්වයක පසුවීමට මහනුවර ක්‍රීඩකයන්ට හැකි විය.

කෙසේ නමුත් තරගය පහසුවෙන් මහනුවර කණ්ඩායමට ජය ගත නොහැකි බව පෙන්වමින් තරගයේ 26 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමේ සිතුම් පීරිස් විසින් උත්සාහක දිනුමක් ලබා ගනිමින් හැව්ලොක් කණ්ඩායමේ ලකුණු පුවරුව ආරම්භ කළේය. පළපුරුදු රීසා මුබාරක් විසින් එහි ප්‍රවර්තන කර්තව්‍ය නිසි පරිදි ඉටු කළේය. (මහනුවර 21-07 හැව්ලොක්)

තරගයේ අවස්ථා කිහිපයක දී ම scrum අවස්තාවන්හීදී දෙපිලේම ක්‍රීඩකයින් හට අවවාද ලබා දීමට විනිසුරු චාලි බ්‍රවුන් මහතා කටයුතු කළ ද නැවත නැවතත් ක්‍රීඩකයන් එකම වැරැද්ද සිදු කළ බැවින් පළමු අර්ධය නිමා වීමට ආසන්නව තිබිය දී දෙපිලේම ක්‍රීඩකයන් දෙදෙනෙකු හට කහ කාඩ්පත් ලබා දීමට ඔහුට සිදු විය.

තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න

හැව්ලොක් කණ්ඩායමේ දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ මහනුවර කණ්ඩායමේ ගනුක දිසානායක හට කහ කාඩ්පත් නිකුත් කළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනාට මිනිත්තු 10 බැගින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව යන ලදි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 21 – 07 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධයේ 7 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් නායක නිරෝෂන් ප්‍රනාන්දු හට ද කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඒ අනුව හැව්ලොක් කණ්ඩායමට මිනිත්තු 10ක කාලයකට ඔවුන්ගේ නායකයා අහිමි විය.

එම අවස්ථාවේ දී හැව්ලොක් කණ්ඩායමට ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ඉන් උපරිම වාසිය ලබා ගත් මහනුවර ක්‍රීඩකයෝ තරගයේ 50 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ 4 වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය.

බුවනෙක උඩන්ගමුව විසින් සිය තෙවැනි උත්සාහක දිනුම එහි දී වාර්තා කළේය. හැව්ලොක් ආරක්ෂක පෙළෙහි තිබූ දුර්වලතාවක් ප්‍රයෝජනයට ගනිමින් උඩන්ගමුව විසින් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර නොකඩවා සිව්වැනි වරට ද තිලිණ විජේසිංහ විසින් ප්‍රවර්තනයේ දී පන්දුව ඉතා සාර්ථක අයුරින් නිවැරදි දිශාවට එල්ල කරන ලදි. (මහනුවර 28-07 හැව්ලොක්)

CR&FC කණ්ඩායමට ගුවන් හමුදාවෙන් ප්‍රබල තරගයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ලෙස CR&FC ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා…

තරගයේ මුල් මිනිත්තු 20 මහනුවර කණ්ඩායම සතුවූවත් තරගයේ අවසන් මිනිත්තු 20 හැව්ලොක් කණ්ඩායම සතු විය. තරගයේ 62 වැනි මිනිත්තුවේ දී දුෂ්මන්ත ප්‍රියදර්ශන විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින් හැව්ලොක් කණ්ඩායමේ බලාපොරොත්තු නැවත වතාවක් ඉහළ දැමීය. රීසා මුබාරක් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් තවත් ලකුණු දෙකක් හැව්ලොක් කණ්ඩායමට එක්කළේය. (මහනුවර 28-14 හැව්ලොක්)

කණ්ඩායම් දෙක අතරේ ලකුණු පරතරය තව තවත් අඩුකරමින් හැව්ලොක් කණ්ඩායමේ දිනුක් අමරසිංහ විසින් තරගයේ 71 වැනි මිනිත්තුවේ දී මහනුවර සීමා ඉර පසු කළ අතර රීසා මුබාරක් විසින් එහි ප්‍රවර්තනය නිසි පරිදි සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 28-21 හැව්ලොක්)

එම අවස්ථාවේ දී තරගය ඉතාමත් උණුසුම් එකක් වූ අතර දෙපිලෙහිම ක්‍රීඩකයන් සිය උපරිමයෙන් ක්‍රීඩා කරනු බවක් දක්නට ලැබීය. ක්‍රීඩාගාරය පිරී ඉතිරී යන්නට සිටි විශාල ප්‍රේක්ෂක පිරිසගේ උද්‍යෝගිමත් හඬ ද නොනවත්වා ඇසුණි.

යම්කිසි පීඩනකාරී අවස්ථාවක සිටිය ද මහනුවර ක්‍රීඩකයන් මානසිකව ඇදවැටුණ බවක් දක්නට නොලැබුන අතර 74 වැනි මිනිත්තුවේ දී ඔවුන් ලද දඬුවම් පහර එල්ල කිරීමට මහනුවර කණ්ඩායම විසින් තීරණය කරන ලදි. එය ඉතා නිවැරදි සහ බුද්ධිමත් තීරණයක් විය. තිලිණ විජේසිංහ විසින් එම දඬුවම් පහර සාර්ථකව එල්ල කරමින් ලකුණු ත්‍රිත්වයක් මහනුවර කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව හැව්ලොක් කණ්ඩායමේ බලාපොරොත්තු සියල්ල සුන්විය.

චීන තායිපේ හමුවේ යොවුන් දළ ඇතුන් දණ ගසයි

2018 ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ සිය පළමු තරගය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19…

ඒ අනුව තම කණ්ඩායම මුහුණ දුන් තරග සියල්ලම ජය ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි වූ අතර තරග පරාජය වූවද තවදුරටත් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ හැව්ලොක් කණ්ඩායමයි. විනිසුරු චාලි බ්‍රවුන් මහතා තරග පුරාවටම අපක්ෂපාතී සහ ඉතා විශිෂ්ට විනිශ්චයක් ලබා දීම ද අගය කළ යුතුම කරුණකි.

අවසාන ප්‍රතිඵලය: මහනුවර ක්‍රීඩා සමාජය 31  (4T, 4C, 1P) – 21 (3T,3C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – බුවනෙක උඩන්ගමුව

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ :

  • මහනුවර ක්‍රීඩා සමාජය – බුවනෙක උඩන්ගමුව (3T), අනුරුද්ධ විල්වර (1T), තිලිණ විජේසිංහ (4C, 1P)
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – සිතුම් පීරිස් (1T), දුෂ්මන්ත ප්‍රියදර්ශන (1T), දිනුක් අමරසිංහ (1T), රීසා මුබාරක් (3C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<