නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය ක්‍රිකට් පිටිය ද ජය ගනී

U19 Inter Schools Div 3 Tier B Cricket Tournament 2022

391

වොලිබෝල් ඉතිහාසයේ අති ගෞරවනීය නාමයක් දිනා සිටින නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ B කාණ්ඩයේ එක්දින ක්‍රිකට් ශූරතාව ද දිනා ගනිමින් විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ මංගල කුසලානය දිනා ගැනීමට පසුගිය දා සමත් වුනා.

“අපි බොහොම අපහසුවෙන් ආ ගමනක්. බාධා දුෂ්කරතා බොහෝමයි. කණ්ඩායමේ දරුවන්ගේ සහ පුහුණුකරුවන්ගේ විශාල කැපවීම මත සහ විද්‍යාලයීය ප්‍රජාවගේ සහයෝගය මතයි අපිට මේ ගමන එන්න ලැබුණේ. ගොඩක් සතුටුයි මේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්,” ධම්මිස්සර ජාතික පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා මෙන් ම ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙසින් ද කටයුතු කරන කීර්ති ජයසේකර මහතා ThePapare.com සමඟ තම ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තේ ඒ ආකාරයෙන්.

ධම්මිස්සර ජාතික පාසලේ ජයග්‍රාහී ගමන් මඟ
පළමු වටයේ තරග
1 බණ්ඩාරනායකපුර විද්‍යාලය, වනාතවිල්ලුව. ධම්මිස්සර ජාතික පාසලට ලකුණු 320ක ජයක්.
අවසන් වටයේ තරග
2 ධර්මපුරම් මහා විද්‍යාලය, කිලිනොච්චිය. ධම්මිස්සර ජාතික පාසලට කඩුලු 10ක ජයක්.
3 ශ්‍රීමත් විලියම් ගොපල්ලව විද්‍යාලය, ගොකරැල්ල. ධම්මිස්සර ජාතික පාසලට කඩුලු 10ක ජයක්.
4 Hartley විද්‍යාලය, පේදුරුතුඩුව. ධම්මිස්සර ජාතික පාසලට කඩුලු 3ක ජයක්.
පෙර අර්ධ අවසන් පූර්ව තරගය
5 අමරසූරිය මහා විද්‍යාලය, මීපාවල. ධම්මිස්සර ජාතික පාසලට කඩුලු 3ක ජයක්.
අර්ධ අවසන් පූර්ව තරගය
6 මහානාම මධ්‍ය මහා විද්‍යාලය, මොනරාගල. ධම්මිස්සර ජාතික පාසලට කඩුලු 4ක ජයක්.
අවසන් පූර්ව තරගය
7 මධ්‍ය මහා විද්‍යාලය, පොරමඬුල්ල. ධම්මිස්සර ජාතික පාසලට කඩුලු 6ක ජයක්.
අවසන් මහා තරගය
8 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය, ගල්කිස්ස. ධම්මිස්සර ජාතික පාසලට ලකුණු 85ක ජයක්.

කණ්ඩායම් 191ක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ධම්මිස්සර ජාතික පාසල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලයයි. මෙම කණ්ඩායම් දෙක ම අවසන් මහා තරගය සඳහා පිවිසෙන්නේ අපරාජිතව සිටිමින් වීම විශේෂත්වයක්.

ඒ අනුව පැවැති අවසන් මහා තරගය පසුගියදා කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී පැවැති අතර එහි දී ලකුණු 85ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනිමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වුනා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධම්මිස්සර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් හසිත් නයනජිත් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිද්දී නායක රනුක අපෝන්සු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයට ලබා ගත හැකි වන්නේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණයි. එහි දී පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වීමට හසිත් නයනජිත් සමත් වෙනවා. ඔහු ලකුණු 31කට කඩුලු 5ක් දවා ගන්නවා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ධම්මිස්සර ජාතික පාසල: සියලුම දෙනා දැවී 231 (49.3) හසිත් නයනජිත් 62, රනුක අපෝන්සු 50, පුෂ්පිත නිරෝෂන 34, දනුප සිතිජය 3/33, දුශාන් සිල්වා 2/40, චලක නිශාන්ත 2/50
  • ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය: සියලුම දෙනා දැවී 146 (42.1) සචිත සිල්වා 42, දුශාන් සිල්වා 30, රමිතු දිශේන් 25, හසිත් නායනජිත් 5/31, අශාන් ධනංජය 2/15

ධම්මිස්සර ජාතික පාසලට ලකුණු 85ක ජයක්.

“පළමු තරගයේ සිට ම අපිට ලොකු විශ්වාසයක් තිබුණා, අවසන් කණ්ඩායම් 8 අතරට එන්න පුළුවන් කියලා. අපි මුහුණ දුන් පළමු තරගයේ දී ම ලකුණු 400 පසු කරනවා. ඒ සමඟයි මේ විශ්වාසය මතු වෙන්නේ,” කීර්ති ජයසේකර මහතා නැවත පැවසුවා.

තරගාවලියේ වඩාත් දක්ෂතා දැක්වූ ධම්මිස්සර ක්‍රීඩකයා වූයේ අවසන් මහා තරගයේ ද දක්ෂතා දැක් වූ හසිත් නයනජිත්. ඔහු තරග 8ක ඉනිම් 6කට මුහුණ දී ලකුණු 213ක් ලබා ගන්නවා. ඊට පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවැති අවසන් පූර්ව තරගයේ දී සහ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය සමග පැවැති අවසන් මහා තරගයේ දී ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

ඊට අමතර ව ඔහු පන්දු යැවීමෙන් ද කඩුලු 16ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා බවට ද පත් වෙනවා.

ඊට අමතර ව කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූවන් අතුරට එක් වීමට පූර්ණ කරුණානායක සමත් වෙනවා. ඔහු මෙසේ ලැයිස්තු ගත වෙන්නේ කණ්ඩායමේ එක ම ශතකලාභියාගේ කිරුළ ද දිනා ගනිමින්. ඔහු වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයට එරෙහිව ලකුණු 108ක් ලබා ගන්නා ලද අතර තරගාවලියේ ඉනිම් 6කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 182ක්. ඊට අමතර ව පන්දු යැවීමෙන් කඩුලු 15ක් ද එක්කර ගැනීමට ඔහු සමත් වෙනවා.

ධම්මිස්සර පිතිකරු ලැයිස්තුවේ ප්‍රමුඛතම ලකුණුලාභියා ලෙසින් අංකනය වෙන්නේ පුෂ්පිත තෙන්නකොන්. ඔහු තරග 8ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 217ක්. ඊට වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයට සහ කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද  අර්ධ ශතක 2ක් ද ඇතුලත්.

ඊට අමතර ව සවිඳු ගිම්හාන් ලකුණු 113ක් සහ කඩුලු 11ක් ලබා ගනිමින් ද, නායක රනුක අපෝන්සු ලකුණු 122ක් සහ කඩුලු 6ක් දවා ගනිමින් ද, අශාන් ධනංජය ලකුණු 109ක් සහ කඩුලු 9ක් දවා ගනිමින් ද ධම්මිස්සර විද්‍යාලයීය ජයග්‍රහණයට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් සුවිශේෂී දායකත්වයක් දක්වනවා.

එමෙන් ම පිතිකරු ලැයිස්තුවේ සිව්වැනි අසුන වෙන්කර ගැනීමට ක්‍රිශාන් සංකල්ප සමත් වෙනවා. ඔහු වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයට එ‍රෙහිව ලබා ගන්නා ලද ලකුණු 70ක් සමඟින් ඉනිම් 8 දී ලකුණු 164ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී සච්චන සමරදිවාකර කඩුලු 8ක දායකත්වයක් ලබා දෙමින් ධම්මිස්සර ජාතික පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය දැක්වූවා.

ධම්මිස්සර ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම :

රනුක අපෝන්සු (නායක) පුෂ්පිත තෙන්නකෝන් (කඩුලු රකින්නා), සවිඳු ගිම්හාන්, පූර්ණ කරුණානායක, අශාන් ධනංජය, සංජන පීරිස්, හසිත් නයනජිත්, සුවේත පෙරේරා, ඔවිඳු සචින්තන, ශමිල් මාරසිංහ, බිහඳු වෙනිත, ක්‍රිශාන් සංකල්ප, චමිඳු වර්ණකුලසූරිය, සච්චන සමරදිවාකර, සදින්ශ මෙතූශන, දිනුල් කුමාරගේ, ඉසුරු ජයසේකර, කොමින් සත්‍යාංජන, මිෂාල් අහමඩ්, ෂෙනෝල් මල්ශාන්

නිලධාරීන් : නීල් සියඹලාපිටිය මහතා (විදුහල්පති) කීර්ති ජයසේකර මහතා (ක්‍රීඩා සහ ක්‍රිකට් භාර ආචාර්ය) චාලුක හේෂාන් පෙරේරා (ප්‍රධාන පුහුණකරු) අශාන් ශානුක (සහාය පුහුණුකරු)

වොලිබෝල් ක්‍රීඩාවට නම් දැරූ ධම්මිස්සර ජාතික පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය මීට දශක කිහිපයක් ඈතට ගියත් එය හිටි හැටියේ ම 1993 වසරේ දී නතර වෙනවා. අනතුරුව එය නැවත ආරම්භ වෙන්නේ 2006 වසරේ දී. ඒ වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වලින්.

“ක්‍රිකට් ක්‍රීඩාව දිගින් දිගට ම කරගෙන යෑමට නොහැකි වූ ප්‍රබල හේතුවක් වෙන්නේ පවතින ආර්ථික තත්ත්වයන්. මේ හේතුව මත ගොඩාක් ළමයි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට වොලිබෝල් ක්‍රීඩාව තෝරා ගන්නවා. ඒ තත්ත්වය මත වූවත් අපි දිගින් දිගට ම කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් පවත්වාගෙන ගියා. එක වසරක අපි වයස අවුරුදු 15න් පහළ තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙනවා.”

ඒ මානසිකත්වයත් සමගින් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමක් සෑදීමට අවශ්‍ය වාතාවරණය ද උදා වූ බවයි කීර්ති ජයසේකර මහතා පවසන්නේ. ඒ වෙද්දී පාසලේ නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර වසර 12ක් ගත වී අවසන්.

“අපි නැවත වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කරන්නේ 2018 වසරේ දී. ඒ වසරේ දී ම අපි පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වෙනවා.“

ඉන් වසර 5ක ඇවෑමෙනුයි ඔවුන් මෙම ශූරතාව දිනා ගන්නේ.

ධම්මිස්සර ජාතික පාසල් ක්‍රිකට් ඉතිහාසය ඉතා කෙටි වූවත් එය වර්ණවත් කළ අයෙක් ද මේ අතර සිටිනවා. ඒ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක නිපුන් ධනංජය. නිපුන්ගේ ක්‍රිකට් තිඹිරිගෙය වන්නේ ධම්මිස්සර ජාතික පාසල. ඔහු වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩා කළ වසර ත්‍රිත්වයක් ම තම දක්ෂතා බෙදා ගන්නේ ධම්මිස්සර නාමයත් සමගින්.

“දිනූ ජයග්‍රහණය සේ ම අද අපේ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව රැදී ඇති තැනත් ගැන ලොකු සතුටක් තියෙනවා. අපි බොහොම පුංචි තැනින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරල අද මේ තත්ත්වයට රැගෙන ඇවිත් තියෙනවා. මේ වෙනුවෙන් දායකත්වය දැක් වූ විශාල පිරිසක් ඉන්නවා. ඒ සෑම කෙනෙක්ට ම මේ වෙනුවෙන් ස්තූති වන්ත වෙනවා. ඒ වගේ ම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ දවසේ සිට ම දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් මේ වෙනුවෙන් විශාල දායකත්වයක් දැක් වූවා. අදටත් ඒ ලෙසින් ම ඔවුන් ඒ දායකත්වය දක්වනවා. ඒ ගැන විශේෂයෙන් ම ස්තූතිවන් වෙන්න ඕන,”  කීර්ති ජයසේකර මහතා Thepapare.com  සමඟ පැවැසුවා.

ජයග්‍රාහී ධම්මිස්සර ජාතික පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට Thepapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<