ක්‍රිකට් එකළු කළ දැකුම්කළු කළු!

2138

රොමේෂ් කළුවිතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක කඩුල්ල පිටුපස ඉඳලා දායකත්වය දුන් ක්‍රීඩකයා. හැමෝම ආදරේට ඔහුට කිව්වේ ‘කළු’ කියලා.

කළුගේ නම ඉස්සරහින් පෙන්නන්න ලංකාවට ගහපු ඇතැම් කඩුලු රකින්නන් සතු පිතිකරණ වාර්තා නැහැ. ඒ කියන්නේ කළුගේ නම ඉස්සරහින් පෙන්නන්න ඉලක්කම්, හොඳ නොම්මර නැහැ. එහෙම වෙන්න කළු කියන්නේ තමන්ගේ පෞද්ගලික තරග වාර්තාවලට වඩා කණ්ඩායම ගැන හිතපු ක්‍රීඩකයෙක් වීම බලපෑවා. කළු කියන්නේ පට්ටම ටීම් ප්ලෙයර් කෙනෙක්. කළු හැමදාම තමන්ගේ පෞද්ගලික වාර්තාවලට වඩා බැලුවේ කණ්ඩායමේ උන්නතිය දිහා.

තමන් ක්‍රීඩා කරපු කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රගමනයට මිල කරන්න බැරි අධික වටිනාකමක් දීපු ක්‍රීඩකයෙක් කළු කියන්නේ.

කළු ගැන කියද්දී හැමෝටම මතක් වෙන්නේ 1996 අවුරුද්දේ කල්කටා නුවර පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඔහු ලබා ගත් සචින් තෙන්දුල්කාර්ගේ ස්ටම්ප් කිරීම. මේ ස්ටම්ප් කිරීම එතෙක් වෙලා ඉන්දියාව පැත්තට නැඹුරු වෙලා තිබුණ තරගය අපේ පැත්තට හැරෙව්වා. මේ දවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක්.

අපේ කතානායක රොමේෂ් ශාන්ත කළුවිතාරණ උපත ලබන්නේ 1969 වසරේ නොවැම්බර් 24 වැනිදා මොරටුව ප්‍රදේශයේ දී. ඔහු මුලින්ම අකුරු කරන්න යන්නේ තමන්ගේ නිවසට අල්ලපු වැටේ තියන සාන්ත සෙබස්තියන් විදුහලට.

කළුට වයස අවුරුදු අටක් විතර වෙද්දී ඔහුගේ පියා මිය යනවා. යන්තම් දැනුම් තේරුම් තියන වයසට එද්දී එහෙම අහිමි වීමක් දරුවෙකුට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. කුඩා වයසේ දී ම කළුගේ මව බියුලා ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරනවා.

කළුගේ තාත්තා දයානන්ද කළුවිතාරණ උග්‍ර ක්‍රිකට් රසිකයෙක්. ඔහුගේ සිහිනය වෙලා තිබුණේ කවදාහරි දවසක තමන්ගේ පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා දකින එක. කළු ක්‍රිකට් ක්‍රීඩාව එක්ක සම්බන්ධ කරන්න කළුගේ මව සෑහෙන උත්සාහයක් ගත්තේ ඒ නිසා.

කොහොමත් මොරටුව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ගසට පොත්ත මෙන් බැඳිලා ගියපු තැනක්. කළුටත් ක්‍රිකට් ක්‍රීඩාව හොඳට අල්ලා යනවා.

පාසල් පිටියේ උසස් දස්කම් දැක්වීමෙන් කළු 1988 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණ පළමු යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙනවා.

රොහාන් වීරක්කොඩි නායකත්වය දැරූ මෙම සංචිතයට සනත් ජයසූරිය, චන්දික හතුරුසිංහ, චමින්ද මෙන්ඩිස්, සංජීව රණතුංග වැනි පහුකාලෙක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ඇතුළත්ව හිටියා.

1990 වසරේ ඉන්දියාවට එරෙහිව එක්දින වරම් හිමිකර ගත්තත්, එම තරගයේ කළුගේ දායකත්වය එක් උඩ පන්දුවකට පමණක් සීමා වෙනවා. ඒ වගේම කළුට මෙම තරගයේ දී පන්දුවට පහර දීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

1992 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ සිංහල සමාජ ක්‍රීඩා පිටියේ පැවති තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ දී හතරේ පහර 26ක් සමඟ ඔහු නොදැවී ලකුණු 132ක් ලබා ගන්න කළු සමත් වෙනවා.

සිය මංගල ඉනිමේ දී කළුට පන්දුවට පහර දීමට එන්න වෙන්නේ කඩුලු ත්‍රිත්වයක් එහෙමත් නැත්නම් හැට්ට්‍රික් එකක් බේරගන්න.

තමන් පන්දුවට පහර දෙන්න ගියපු වෙලේ ඉඳන් ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් තමාට දැඩි ලෙස වාචිකව පීඩනයක් ඇති කළ බව කළු පස්සේ කාලෙක කිව්වා.

එදා කළු රැස් කළ මුල් ලකුණු 30 ඇතුළේ හතරේ පහර හතක් තිබුණා. තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කර ගත් දෙවැනි ශ්‍රී ලාංකික කඩුලු රකින්නා බවට‍යි එදා කළු පත්වුනේ.

මේ අනර්ඝ ඉනිමෙන් පසු පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සිතූ තරම් දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙනවා. කොහොමත් මේ කාලේ ශ්‍රී ලංකා බලධාරීන් තරගයෙන් තරගයට අලුත් මූණු කඩුල්ල පිටුපස අත්හදා බලපු කාලයක්.

1995/96 ඕස්ට්‍රේලියානු තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් වගේම කළුගේ ක්‍රිකට් දිවිය පැත්තෙනුත් සුවිශේෂී එකක්.

ටෙස්ට් තරගාවලියේ පර්ත් සහ මෙල්බර්න් නුවර පැවති තරග දෙකේ දී ම අගනා අර්ධ ශතක දෙකක් රැස්කර ගන්න කළු සමත් වෙනවා.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපූරු තීරණයක් ගන්නවා. රොමේෂ් කළුවිතාරණ නම් කඩුලු රකින මැදපෙළ පිතිකරුවා සනත් ජයසූරිය එක්ක ආරම්භක පිතිකරුවෙක් විදියට එවන්න. මේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක්.

කළු ආරම්භක පිතිකරුවෙක් විදියට එවපු මුල්ම බෙන්සන් සහ හෙජස් කුසලාන තරගයේ දී ඔහුගේ දායකත්වය පන්දු 75කින් ලකුණු 77ක්. ඒ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව. මේ තරගයෙන් අනගි ජයක් හිමිවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට.

බෙන්සන් සහ හෙජස් තරගාවලියේ ඉතිරි තරග හයේ ඉහළ ප්‍රහාරක වේගයක් රදවා ගනිමින් ලකුණු දෙසීය 234ක් ලබා ගැනීමට කළු සමත් වෙනවා.

ජයසූරිය-කළුවිතාරණ සුසංයෝගය ආරම්භක පන්දුවාර පහළොවේ එල්ල කළ දැඩි ප්‍රහාරය නිසා ලෝකය පුරාම පන්දු යවන්නන් පත්වුනේ විශාල අපහසුතාවයකට. පිතිකරණ අන්ත දෙකෙන්ම එවන් ප්‍රහාරයක් එල්ල වූ මුල්ම අවස්ථාව එය වුනා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ මග යමින් මුල් පන්දුවාර 15 තුළ දැඩිව පහර දීමේ කලාව යොදා ගන්නට බොහෝ කණ්ඩායම් ඒ කාලේ සෑහෙන උත්සහ කළා.

1996 වසරේ අගෝස්තුවේ සහ සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවති සිංගර් ලෝක ශූරතා තරගාවලියේ දී කළු නැවතත් ලකුණු අතරට පිවිසෙනවා.

සිංගර් ලෝක ශූරතා තරගාවලියේ ලබා ගත් රිද්මය දිගටම පවත්වා ගනිමින් වසර අග නයිරෝබියේ දී කෙන්යාවට එරෙහිව තම ප්‍රථම එක්දින ශතකය වාර්තා කරන්නට කළු සමත් වුනා.

1997 මාර්තුවේ නවසීලන්තයට එරෙහිව ඩනේඩින් හිදී පැවති ටෙස්ට් තරගයේ දී අගනා ශතකයක් රැස් කර ගන්න කළු සමත් වුනා. ඒ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය.

එක්තරා කාලෙක කළු සතුව තිබූ කඩුලු රකින්නාගේ ස්ථානය ලංකා ද සිල්වාට හිමි වෙනවා.

ලංකා ද සිල්වාට ඉන්දියාවේ දී සිදු වූ ආබාධයත් එක්ක 1997 වසර අග කළු නැවත එක්දින කණ්ඩායමට පැමිණෙනවා. එතන ඉඳලා 1999 එංගලන්තයේ පැවති ලෝක කුසලානය තෙක් තමන්ගේ දක්ෂතා අඛණ්‌ඩව පවත්වා ගෙන යාමට කළුට හැකි වෙනවා.

1999 ලෝක කුසලාන පරාජයෙන් පසු සනත් ජයසූරිය යටතේ නව කණ්ඩායමක් නිර්මාණය කරන්න යොවුන් ක්‍රීඩක ප්‍රතිපත්තියක් ගේන්න බලධාරීන් කටයුතු කරනවා.

එලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නව යුගයේ සාමාජිකයෙකු වීමේ අවස්ථාව කළුට හිමි වෙනවා.

අයිවා කුසලාන එක්දින තරගාවලිය තුල දී මෙන්ම සිම්බාබ්වේ එක්දින තරගාවලිය තුලත් ඔහු ලකුණු අතරට පැමිණෙන්නේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු සතු වගකීම මැනවින් ඉටු කරමින්. විශේෂයෙන්ම අයිවා කුසලාන අවසන් මහා තරගයේ දී ඔහු නොදැවී රැස් කළ ලකුණු 95 අනර්ඝ ඉනිමක්.

කුමාර් සංගක්කාරගේ ආගමනය සහ ඔහු පිතිකරුවෙක් ලෙස ඉක්මනින් ගොඩ නගා ගත් ස්ථාවරත්වයෙන් පසු ටෙස්ට් හෝ එක්දින කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත් වීමට ඔහුට හැකි වන්නේ නැහැ. සංගක්කාර ගෙන් කඩුලු රකින්නෙකු ලෙස එතරම් උසස් දස්කම් දකින්නට නොලැබුනත්, බලධාරීන් ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් තැබුවා. නමුත් සටන්කාමියෙක් වෙන කළු ලෙහෙසියෙන් සටන අතහරින්නට සූදානම් වුනේ නැහැ.

කළු 2004 වසරේ දී තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරනවා. පාකිස්තානය සමග කරච්චි නුවර පැවති තම අවසන් තරගයේ දීත් කළු අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පස්සේ කෝල්ට්ස්, මැලේසියා සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් වල පුහුණුකරු ලෙස කටයුතු කළ කළු අද වෙද්දී තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස තමන්ගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක රොමේෂ් කළුවිතාරණ කඩුල්ල පිටුපස සිට ලබා දුන් දායකත්වය මිල කළ නොහැකි බවයි අපට කිව හැක්කේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<