මහින්දයේ පන්දු යැවීම හමුවේ සාන්ත පීතරයින් අසරණ වෙයි

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

681

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින තරගයක් අද (01) ආරම්භ වුනේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතරයි.

සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ ආරම්භ වූ මෙම තරගයේ උදෑසන වරූවේම සත්කාරකයින් අසරණ කරමින් සාන්ත පීතර පළමු ඉනිම ලකුණු 56කට සීමා කිරීමට මහින්ද විදුහලේ පන්දු යවන්නන්ට හැකි වුනා.

සාන්ත පීතර ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කළ දිනුර කළුපහන ලකුණු 12කට කඩුලු හතරක් දවා ගනිද්දී, අනෙක් අන්තයෙන් සාන්ත පීතර කඩුලු දඩයම් කළ ශෙහාන් හසරංග ලකුණු 30කට කඩුලු හතරක් දවා ගත්තා.

සාන්ත පීතර ඉනිමේ අනෙක් කඩුලු ද්විත්වය බෙදී ගියේ දනුජ ඉඳුවර සහ තරූෂ ඩිල්ෂාන් අතරේයි.

සාන්ත පීතර පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අගපෙළ පිතිකරු රිතිල් සුරවීර නොදැවී ලකුණු 11ක් ලබා ගනිද්දී, නේතන් දේවින්ද ලකුණු 12ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් අයහපත් කාලගුණ තත්වය නිසා අද දිනයට තරගය අවසන් කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 165ක් ලබා ගනිමින් සාන්ත පීතර ඉනිමට වඩා ලකුණු 109ක් ඉදිරියෙන් පසුවනවා.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ප්‍රමේශ් මධුභාෂන නොදැවී ලකුණු 85ක් සහ සවිද්‍ය රන්මිණ නොදැවී ලකුණු 48ක් ලබා සිටින අතර දෙවැනි කඩුල්ල සඳහා ඔවුන් ගොඩ නැගූ නොබිඳුණු සම්බන්ධතාව 119ක්.

  • සාන්ත පීතර පළමු ඉනිම: 56/10 (19.5) – රිතිල් සුරවීර 13*, නේතන් දේවින්ද 12, දිනුර කළුපහන 4/12, ශෙහාන් හසරංග 4/30
  • මහින්ද විද්‍යාල පළමු ඉනිම: 165/2 (47.5) – ප්‍රමේෂ් මධුභාෂන 85*, සවිද්‍ය රන්මිණ 48*,දිනුර කලුපහන 24

තරගයේ දෙවැනි දිනයේ තොරතුරු ඇතුළු පාසල් ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<