ශ්‍රී ලංකාවට එරෙහි ව එන Nigar ගේ බංග්ලාදේශ බලඇණිය

Women’s T20 Asia Cup 2026

1

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 3 වැනි සහ අවසන් තරගය අද (6) බංග්ලාදේශය සමඟින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගය මෙවර තරගාවලියේ 10 වැනි තරගයයි. මේ වෙද්දී සැකසුණ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව පළමු අසුන හිමිකර ගෙන සිටිනවා. ඒ මෙතෙක් පැවැති තරග ද්විත්වය ජයග්‍රහණය කිරීමත් සමඟිනුයි. බංග්ලාදේශයට හිමි ව ඇත්තේ 2 වැනි ස්ථානයයි.  

ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං

විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ බංග්ලාදේශය 2018 වසරේ ශූරියන් වන අතර ඊට අමතර ව ඔවුන් 2012 වසරේ දී මෙන් ම නිමා වූ 2024 වසරේ දී ද අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වූ කණ්ඩායමක් ලෙසිනුයි මෙවර තරගාවලියට එක් වූයේ.   

ඔවුන් මෙවර තරගාවලියේ සහභාගී වන 2 වැනි තරගය මෙයයි. මීට පෙර ඔවුන් ඉන්දුනීසියාව සමඟ තරගයට එක් වූ අතර එම තරගයෙන් ලකුණු 78ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.  

ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් විස්සයි විස්ස තරග පිටියේ හමුවෙන 17 වැනි අවස්ථාව මෙය වන අතර මෙතෙක් පැවැති තරග 16න් තරග 13ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද ඉතිරි තරග ත්‍රිත්වයේ ජයග්‍රහණ බංග්ලාදේශය ද සතු වෙනවා.  

ශ්‍රී ලංකාවට එරෙහි ව තරග බිමට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායමේ නායිකාව මෙන් ම කඩුලු රකින්නිය ද වෙන්නේ Nigar Sultana. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 129කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2663ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.  

එය බංග්ලාදේශ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පිතිකාරිනියක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා. ඇය ගේ මෙම දක්ෂතා අතරට ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 14ක ඉනිම් 13ක දී අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 310ක් ද තිබෙනවා.  

ඇය ට අමතර ව බංග්ලාදේශ කණ්ඩායමේ සිටින වඩාත් විශ්වසනිය පිතිකාරිනියක් ලෙස පෙරමුණේ සිටින්නේ Sobhana Mostary. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 67කට මුහුණ දෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 1099ක් ලබා සිටින අතර ඇය ගේ ලකුණු අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 9ක දී ලබා ගත් ලකුණු 143ක් ද තිබෙනවා.  

ඊට අමතර ව Dilara Akter (666), Shorna Akter (632) සහ Ritu Moni (566) ද බංග්ලාදේශ ඉනිම් හැඩකරන පිතිකාරිනියන් ලෙසින් හැඳින්වෙනවා. 

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායමේ සිටින වඩාත් අවදානම් සහිත පන්දු යවන්නිය වන්නේ වමතින් දඟ පන්දු යවන Nahida Akter. ඇය මේ වන විට විස්සයි විස්ස තරග 108ක දී කඩුලු 126ක් ලබා ගනිමින් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලුලාභී ක්‍රීඩිකාවන් අතුරින් පෙරමුණේ පසුවෙනවා. ඇයගේ කඩුලු ගිණුම තුළ ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 10ක දී ලබා ගත් කඩුලු 10ක් ද තිබෙනවා.  

ඇයට අමතර ව පා දඟ පන්දු යවන Fahima Khatun කඩුලු 68ක් ලබා ගනිමින් ද, තවත් පා දඟ පන්දු යවන්නියක වන Rabeya Khan (52) ද සහ දකුණතින් මඳ වේග පන්දු යවන්නියක වන Ritu Moni (48) ද බංග්ලාදේශ කණ්ඩායමේ සිටින සුවිශේෂී පන්දු යවන්නියන් බවට හැඳින්වෙනවා. 

පෙර තරගය හා එක් වූ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම 

Nigar Sultana (නායිකාව සහ කඩුලු රකින්නිය), Juairiya Ferdous, Dilara Akter, Sobhana Mostary, Shorna Akter, Ritu Moni, Fahima Khatun, Rabeya Khan, Nahida Akter (උප නායිකාව), Marufa Akter, Sanjida Akter Meghla. 

 

සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝ 

Sarmin Sultana, Sharmin Akhter, Sumaiya Akther, Sultana Khatun, Farjana Easmin. 

 

පෙර තරගය හා එක් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා සහ චේතනා විමුක්ති. 

 

සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝ 

විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, කාව්‍යා කාවින්දි සහ මිතාලි අයෝද්‍යා. 

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<